ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීනය පදනම් කරගත් Amber Adventures (Private) Limited සමාගම නිල වශයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ තාක්ෂණික ආයතනවල අනුමැතිය ලැබී තිබියදීත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පැමිණිලි මත පදනම්ව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් ඉදිකිරීම් කටයුතු අත්හිටුවීම ඇතුළු අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් බවයි සමාගම පෙන්වා දෙන්නේ.
මෙම සමාගම පෙරේදා (13) මෙම තීරණය පිළිබඳව ආයෝජන මණ්ඩලය (BOI) වෙත ලිඛිතව දන්වා ඇති බව සඳහන්ය.
මෙම ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 12.75කි. ඉන් ඩොලර් මිලියන 3.5ක් මේ වනවිටත් ආයෝජනය කර අවසන් බවයි පැවසෙන්නේ.
මෙය 2022 ආර්ථික අර්බුදය පවතින සමයේ මෙරටට තහවුරු කර ගත් ආයෝජනයකි. එමෙන්ම ශ්‍රී ලංකාව, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල ආයෝජකයින් එක්ව තහවුරු කරගනු ලැබූවකි.
මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, අමාත්‍ය මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යාංශයට අවශ්‍ය සියලුම ආයතනවල සහතික ලබා ගෙන ආරම්භ කරන ලද්දක් බව සමාගම අවධාරණය කර තිබෙනවා.
මෙය ‘ඉදිකිරීම්-ක්‍රියාත්මක කිරීම-පැවරීම’ (BOT) පදනම මත සැලසුම් කර තිබූ අතර, වසර 13 කට පසු රුපියල් බිලියන 5කට වඩා වටිනා මෙම පද්ධතිය නොමිලේ රජයට ලබාදීමට ද නියමිතව තිබු බව සඳහන් ය.
තවද ව්‍යාපෘතිය නිසා නිෂ්පාදනයේ අවදානමක් පවතින බවට එල්ල වූ චෝදනා Amber Adventures සමාගම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මගින් එම ස්ථානයේ ස්ථාවරත්වය තහවුරු කර ඇති බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම සමාගම සිදුවූ පාඩුව පියවා ගැනීමට ජාත්‍යන්තර නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වෙමින් සිටින බවද වාර්තා වෙනවා.
අධීක්ෂණයක් හෝ ආරක්ෂාවක් ලබා නොදීම බරපතල නියාමන අසාර්ථකත්වයක් බව පවසන සමාගම, මෙවැනි අනපේක්ෂිත පරිසරයක තවදුරටත් කටයුතු කළ නොහැකි බවයි ප්‍රකාශ කර ඇත්තේ.
මේ අනුව 2022 වසරේ සිට ආර්ථික අස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය ගැටලු නිසා ශ්‍රී ලංකාවෙන් ඉවත් වූ සමාගම් අතරට මෙම සමාගම ද එක්ව තිබෙනවා.
මීට පෙර, වසර 60ක් මෙරට සිටි ජපානයේ මිට්සුබිෂි (Mitsubishi) සමාගම, 2022 දී කටයුතු නතර කළ ප්‍රංශයේ ඩෙකැත්ලෝන් (Decathlon) සමාගම, 2023 දී ඉවත් වූ සොමැටෝ (Zomato) වේදිකාව සහ ආන්දෝලනාත්මක සුළං බල ව්‍යාපෘතියකින් ඉවත් වූ අදානි (Adani) සමූහය ද මේ ආකාරයෙන්ම ව්‍යාපෘති නතර කර ශ්‍රී ලංකාවෙන් ඉවත් වුණා.
