අධ්‍යාපනය ඩිජිටල් කිරීම ඉතාම පරිස්සමෙන් කළ යුත්තක්.. – අග්‍රාමාත්‍ය හරිනි

ඩිජිටල් අධ්‍යාපනය සියලුම දරුවන්ට ආරක්ෂිත හා සාධාරණ විය යුතු බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (14) පැවති අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.

මෙම වැඩසටන ක්‍රියාවට නැංවෙන්නේ චීන රජයේ ප්‍රදානයක් ලෙස හා සහාය ඇතිවයි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ පාසල්වල ඩිජිටල් පහසුකම් වැඩිදියුණු කිරීම රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අංගයක් බවයි.

නිසි තාක්ෂණයක් නොමැති පාසල් හඳුනාගෙන සහාය ලබා දිය යුතු බවත් එමඟින් සියලුම සිසුන්ට නවීන ඉගෙනුම් සම්පත් සඳහා සමාන ප්‍රවේශයක් ලබා ගත හැකි බවත් ඇය පැහැදිලි කර තිබෙනවා.

“සෑම සිසුවෙකුටම සමාන අධ්‍යාපන පහසුකම් භුක්ති විඳීමට ඉඩ සැලසෙන පරිදි ඩිජිටල් අසමානතාවය ඇති පාසල් හඳුනාගෙන ඩිජිටල්කරණය කළ යුතුයි”

එමෙන්ම ඇය මෙහිදී අවධාරණය කර ඇත්තේ අධ්‍යාපනයට තාක්ෂණය හඳුන්වා දීම ප්‍රවේශමෙන් හා වගකීමෙන් සිදු කළ යුතු බවකි.

අධ්‍යාපනයට තාක්ෂණය එකතු කරන විට එම ක්‍රමවේද දරුවාගේ මනසට ගැලපෙන පරිදි සහ ළමයින්න්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයෙන් සැලසුම් කළ යුතු බව ද ඇය කියා සිටියා.

අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහනේ අරමුණ වන්නේ පාසල්වලට ඉලෙක්ට්‍රොනික උපාංග සැපයීමෙන් ඔබ්බට ගොස් සංවිධානාත්මක හා ආරක්ෂිත ඩිජිටල් ඉගෙනුම් පද්ධතියක් නිර්මාණය කිරීමයි.

අධ්‍යාපනය සඳහා ජාතික ක්ලවුඩ්ස් දත්ත මධ්‍යස්ථානයක් පිහිටුවීම, දුරස්ථ ඉගෙනුම් ක්‍රම සංවර්ධනය කිරීම සහ කෘතිම බුද්ධිය පදනම් කරගත් විශේෂාංග සහිත ස්මාර්ට් පන්ති කාමර 900 කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත්ය.

Latest News

error: Content is protected !!