Rebuilding Sri Lanka අරමුදල පාලනය කරන සියලු දෙනාට අනාගතයේ අධිකරණය හමුවට යාමට සිදුවෙනවා.. පාඨලී

අනුර කුමාර මහත්තයෝ ඔයාලා පොඩි වැඩියි.. ලොකු වැඩ කරන්න යන්න එපා

දිට්වා සුළි කුණාටුවෙන් පසු රට නැවත ගොඩනැගීම සඳහා ස්ථාපිත කරන ලද Rebuilding Sri Lanka අරමුදල පාර්ලිමේන්තුවේ නීතිගත ආයතනයක් නොවන බවත් අනාගතයේ එය පාලනය කරන සියලු දෙනාට අධිකරණය හමුවට යාමට සිදුවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ආපාදාවෙන් පසු නිවාස ගොඩනැගීම සඳහා ස්වේච්ඡා සංවිධාන රැසක් ඉදිරිපත් වූ බවට තමන් සතුව ලිඛිත සාක්ෂි පවතින බවයි ඔහු පවසන්නේ.

එහෙත් රජය එම සියලු ප්‍රදානයන් ප්‍රතික්ෂේප කරමින් එම මුදල් ‘Rebuilding Sri Lanka’ අරමුදලට බැර කරන ලෙස දැනුම් දී ඇති බව ඔහු පවසනවා.

“අපි දැනට කරගෙන යනවා. ඉතුරු වුණොත් කියන්නම්. මුදල් ‘Rebuilding Sri Lanka’ අරමුදලට දාන්න” යැයි රජයේ පාර්ශවයන් පවසා ඇති බවයි රණවක මහතා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජනරජ පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදීය.

එමෙන්ම දිට්වා ආපදා තත්ත්වයෙන් පසු නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම පිළිබඳවත් විපක්ෂය ලෙස ඒ සඳහා මැදිහත්නොවන්නේ ඇයි දැයි මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළා.

“අපි දැක්කා සුනාමිය අවස්ථාවේ රටේ ජනතාවට ගෙවල් ටික හදාගන්න ජීවනෝපාය ගොඩ නඟාගන්න ස්වේච්ඡා සංවිධාන උදව් කළා. රජය මේ වෙලාවේ කරන්න තිබුණේ ඉඩම් ටික අඳුනගෙන ගෙවල් ටික හදන්න ස්වේච්ඡා සංවිධානවලට ඉඩ හරින එක. කියන්නේ අපි ගෙවල් හදන්නම් ඉතුරු වුනත් දෙන්නම් කියලා. ඔයාලා Rebuilding Sri Lanka දාන්න කියලා. අපි ගාව ලිඛිත සාක්ෂි තියෙනවා. පාර්ලිමේන්තුවේ කියනවා ඕනනම් නම ගහගන්න දෙන්නම් කියලා ඇතුලේ එකක් පිට එකක්. අනුර කුමාර මහත්තයෝ මම නැවතත් ඔබට කියනවා. ඔයාලා පොඩියි. ලොකු වැඩ කරන්න යන්නෙපා. ගෙවල් 17,000ක් දෙනවා කියනවා ලබන අවුරුද්දේ තව හදනවා.මේක ඔයාලට කරන්න බෑ”

Latest News

error: Content is protected !!