ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීමට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් දානය වැළඳීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද ආකාරයට උන්වහන්සේගේ සුවදුක් බැලීමට පැමිණෙන පිරිස් ගෙනෙන දානය මෙන්ම බන්ධනාගාරයෙන් ලබා දෙන දානය ද උන්වහන්සේ ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ සිව්නමක් සහ තවත් සැකකරුවන් 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියෝග කර තිබුණා.
ඒ ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට අයත් භූමියේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේදී ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළවය.
එම විහාර භූමියේ දහම් පාසල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමෙන් පසු විහාරාධිපති හිමියන් හා දායක සභාව එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට ඉකුත් නොවැම්බර් 16 වනදා පියවර ගත් අතර නොසන්සුන්තාව ඇතිවුණේ එම ප්‍රතිමාව මුල් කරගනිමිනි.
අදාළ ඉඩම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් එකක් වීම එම ගැටුමට හේතු වුණා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව පොලිසිය එදින රාත්‍රීයේ බුද්ධ ප්‍රතිමාව එම භූමියෙන් ඉවත්කිරීම සමඟ නොසන්සුන්තාව හටගෙන තිබුණා.
තත්ත්වය උග්‍ර අතට හැරුණේ පහරකෑමට ලක්වූ බව කියමින් ස්වාමීන්වහන්සේ දෙනමක් රෝහල්ගත වීම සමඟය.
ඇතිවූ විරෝධතාව මත පසු දිනම නැවතත් බුද්ධ ප්‍රතිමාව එම ස්ථානයේම තැන්පත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා.
