ඇ. ඩොලර් බිලියන 3.7 ක හම්බන්තොට පිරිපහදුව පිළිබඳ සාකච්ඡා සඳහා සිනොපෙක් ඉහළම නියෝජිත පිරිසක් පැමිණේ

හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුම අවසන් කිරීම සඳහා චීන සිනොපෙක්හි ඉහළ පෙළේ දූත පිරිසක් ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

යෝජිත ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක ආයෝජනය සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේ පසුගිය වසරේ ජනවාරි මාසයේ දීය.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු ඔහුගේ දෙවන නිල සංචාරය ලෙස චීනයට ගිය අවස්ථාවේදීය.

චීනයේ රජයට අයත් බලශක්ති දැවැන්තයා වන සිනොපෙක්, හම්බන්තොට ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක තෙල් පිරිපහදුව සංවර්ධනය කිරීමට සැලසුම් කරන්නේ එම ගිවිසුම ප්‍රකාරවයි.

කෙසේ වෙතත් සමාගම දේශීය වෙළඳපොළට වැඩි ප්‍රවේශයක් ඉල්ලා මුල් ගිවිසුමට සංශෝධන ඉල්ලා සිටි නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී තිබෙනවා. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවූ වූ අවස්ථාවේ ද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

හම්බන්තොට සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කරන බව අමාත්‍ය හේරත් මහතා එහිදී දැනුම් දී තිබෙනවා.

මෙම ගිවිසුම අවසන් කළහොත් ශ්‍රී ලංකාවේ තනි විශාලතම විදේශ සෘජු ආයෝජනය වන්නේ මෙම ආයෝජනයයි. සිනොපෙක් පිරිපහදුව මුලින් අනුමත කරන ලද්දේ 2023 වසරේදීය. එය දිනකට බොරතෙල් බැරල් 200,000 ක් සැකසීමේ හැකියාව ලැබෙන ව්‍යාපෘතියකි.

Latest News

error: Content is protected !!