2025 වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් අසීමිත බලාපොරොත්තු ඇතිව සිටියත් එය ගිලිහී ගිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත අවසානයේ එම ත්‍යාගය ලඟා වී තිබෙනවා.
ඒ 2025 වසරේ එම ත්‍යාගය දිනූ වෙනිසියුලාවේ මාරියා කොරීනා මචාඩෝ විසින් ඇයට හිමිවුණු නොබෙල් ත්‍යාගය ජනාධිපති ට්‍රම්ප් වෙත පිළිගැනීමෙන් අනතුරුවයි.
ඉකුත් දා වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ පැහැරගෙන අමෙරිකාවට රැගෙන යාමෙන් පසුව එම වීර ක්‍රියාව වෙනුවෙන් තමාගේ නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් වෙත ලබා දිය යුතු යැයි ඇය නොබෙල් කමිටුව වෙත යෝජනා කළ ද කමිටුව එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබුණා.
ඊයේ (16) ඇය ධවල මන්දිරයේ දී ට්‍රම්ප් ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ නැවත වතාවක් පවසා සිටියේ එම ත්‍යාගය ඔහු වෙනුවෙන් කැප කරන බවයි. ඇය එහිදී සඳහන් කළේ අපගේ නිදහස වෙනුවෙන් ඔහුගේ අද්විතීය කැපවීම වෙනුවෙන් ප්‍රදානයක් ලෙස එය පිළිගන්වන බවකි.
පසුව “දැන් එය ඔහුගේද?” යනුවෙන් මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්ණයට ඇය සෘජු පිළිතුරක් ලබා දී තිබුණේ නැහැ.
එසේ වුවත් පැය කිහිපයකට පසු ට්‍රම්ප් සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් එම පුවත තහවුරු කළා
“අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ අපූරු ඉඟියක්. මරියාට ස්තූතියි!” යනුවෙන් ඔහුගේ සටහනෙහි සටහන් වී තිබුණා.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී නෝර්වීජියානු නොබෙල් කමිටුව මචාඩෝට ත්‍යාගය පිරිනැමීමට පෙර ට්‍රම්ප් එය දිනා ගැනීමට ඇති ඔහුගේ ආශාව ප්‍රසිද්ධියේ හෙළිකළ කාරණාවකි.
ඔහු ඒ වකවානුවේ ප්‍රකාශ කළේ යුද්ධ හතක් නැවැත්වීම නිසා තමා ඊට වඩාත් සුදුසු බවයි. කෙසේ වෙතත් මදුරෝ අත් අඩංගුවට ගැනීමෙන් පසු එරට බල හුවමාරු කිරීමේ කාර්යයේදී මචාඩෝට එය ලබා දීම ට්‍රම්ප්ගේ සැලසුම වී තිබුණේ නැහැ. ඔහු එහිදී ප්‍රකාශ කළේ රට තුළ ඇයට විශාල පිළිගැනීමක් ඇති බව තමාට පෙනෙන්නට නොමැති බවකි.
