සමලිංගික මොඩියුලය සම්බන්ධයෙන් රු මිලියන 500ක් අවභාවිත කළ බවට රජයට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් විපක්ෂය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට (CIABOC) පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මාධ්‍ය වෙත පැවසුවේ, තමා සහ තවත් කිහිප දෙනෙකු අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබූ බවයි.

“අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ගොනු කරන පැමිණිලි සෑම විටම අල්ලස් මත පදනම් විය යුතු නැහැ. අරමුදල් අවභාවිතය සම්බන්ධයෙනුත් පැමිණිලි ගොනු කළ හැකියි. ඒ අනුව අරමුදල් අවභාවිතය සහ නාස්තිය සම්බන්ධයෙන් අපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළා”

අධ්‍යාපනය භාර අමාත්‍යවරිය ලෙස අරමුදල් නාස්තිය සම්බන්ධයෙන් අගමැතිනි හරිනි අමරසූරිය වගකිව යුතු බවයි ඔහු එහිදී අවධාරණය කර සිටියේ.

එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේදී රජය සාධාරණ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට අපොහොසත් වී ඇති බවත් ධවල පත්‍රිකාවක් හඳුන්වා දී එය සියලු පාර්ශවකරුවන් සමඟ පුළුල් සාකච්ඡාවකට භාජනය කළ යුතුව තිබුණු බවත් මුජිබර් රහුමාන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

Latest News

error: Content is protected !!