86 වසරේ සිට උගන්ඩාව පාලනය කරන යොවේරි මුසවේනි යලිත් බලයට පත් වේ

ඔහුගේ ප්‍රතිවාදියා සැඟවෙයි.. බිරිඳ ඇතුළු පවුලම නිවාස අඩස්සියේ

යොවේරි මුසවේනි හත්වන වරටත් නැවත උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇති බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

81 හැවිරිදි මුසවේනි සියයට 71.65 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ බවයි කොමිසම සෙනසුරාදා (17) ප්‍රකාශ කළේ.

නිල ප්‍රතිඵලවලට අනුව, ඔහු තම ප්‍රධාන තරඟකරු වූ 43 හැවිරිදි බොබී වයින් පරාජය කර තිබෙනවා. බොබී සියයට 24.72 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි එම වර්තා පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කළ ආකාරයට මෙවර උගන්ඩාවේ ජනාධිපතිවරණය පුළුල් මර්දනය හා බිය ගැන්වීම්වලින් විනාශ වූ මැතිවරණයකි.

බ්‍රහස්පතින්දා පැවැත්වුණු මැතිවරණය රට පුරා අන්තර්ජාල අවහිරයක් මධ්‍යයේ සිදු වූ අතර එය පුළුල් විවේචනයට ලක් වුණා.

ගායකයෙකු හා දේශපාලනඥයෙකු වන බොබී වයින්, (ඔහුගේ සැබෑ නම රොබට් කියගුලානිය) මැතිවරණ දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස හොර ඡන්ද පත්‍රිකා පිරවීමක් සිදුවන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද සිදු කරනු ලැබුවා.

එමෙන්ම සෙනසුරාදාට පෙර දින තම නිවසට එල්ල වූ පොලිස් සහ හමුදා වැටලීමකින් තමා බේරුණු බව බොබී වයින් පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම වැටලීමෙන් සිය බිරිඳ හා අනෙකුත් පවුලේ සාමාජිකයින් නිවාස අඩස්සියේ පසුවන බවත් අපරාධකරුවන් සෑම තැනකම තමාව සොයන බවත්ය.

1986 සිට බලයේ සිටින මුසවේනි ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් වසර ගණනාවක් තිස්සේ මර්දනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නායකයෙකි.

මේ සතියේ ඡන්ද විමසීමට පෙර ඔහු පැවසුවේ සියයට 80 ක පමණ සහයෝගයක් සහිතව නැවත මැතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Latest News

error: Content is protected !!