නියම තිස්ස විහාරය තියෙන තැන ඔප්පු කරන්න මට පුළුවන්… නාගදීප රජමහා විහාරධිපති
සැබෑ තිස්ස විහාරය පවතින ස්ථානය හෙළිදරව් කිරීමට තමන් වහන්සේ සූදානම් බව නාගදීප රජ මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේ පවසා තිබෙනවා.
සැබෑ තිස්ස විහාරයේ අයිතිය පවතින්නේ නාගදීප රජ මහා විහාරය සතුව බවත් මේ වන විට විශාල වශයෙන් කතාබහට ලක්වන්නේ ව්‍යාජ තිස්ස විහාරය බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.
මෙම ව්‍යාජ තිස්ස විහාරය අයිති කන්කසන්තුරේ තෛයඩි ප්‍රදේශයේ ජනතාව සතුව බවත් එය ඔප්පු කිරීම සඳහා වන ඔප්පු තිරප්පු හ සාක්ෂි එම ජනතාව හා තමන් වහන්සේ සතුව පවතින බව නාගදීප විහාරාධිපති හිමියන් පෙන්වා දෙනවා.
බලහත්කාරයෙන් දෙමළ ජනතාව සතුඉඩම් අත් පත් කර ගනිමින් ඉදිකර ඇති මෙම විහාරස්ථානය ඉදිරියේ දී ගැටලු රාශියක් ඇති කළ හැකි බැවින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය මේ සඳහා යොමු කරන ලෙස උන්වහන්සේ ඉල්ලා තිබෙනවා.
උන්වහන්සේ ඉදිරිපත් කළ අදහස් මෙසේය.
“ඇත්ත තිස්ස විහාරය තියෙන්නේ දැන් තියෙන තිස්ස විහාරයට යාබදව. නාගදීප රාජ මහා විහාරයට තමයි ඒ තිස්ස විහාරය අයිති. දැන් තිස්ස විහාරය කියන කොටස අයිතිය තියෙන්නේ කන්කසන්තුරේ තෛයඩි ප්‍රදේශයේ සිවිල් ජනතාවට. යුධ සමයේ සිවිල් ජනතාවගේ ඉඩම් බලෙන් අයිති කරගෙන අනවසරයෙන් ඉදි කළ තැන තමයි ව්‍යාජ තිස්ස විහාරය ආරම්භ කරලා තියෙන්නේ.
මේ පිළිබඳ වඩා හොඳින් දන්නේ යුධ සමයේ සිට එනම් කාලාන්තරයක් තිස්සේ මේ ප්‍රදේශයේ ජීවත්වන නාගදීපේ නායක ස්වාමීන් වහන්සේ වන මමයි. අවුරුදු 53ක් තිස්සේ මම ජීවත්වුණේ මේ නාගදීප විහාරස්ථානයේ. මේ ප්‍රදේශයේ දෙමළ ජනතාව සමඟ. මේ ප්‍රදේශයේ දෙමළ ජනතාව දන්නවා නාගදීප විහාරස්ථානයේ හාමුදුරුවෝ කවුද කියන එක. අපි මේතාක් කල් හිටියේ සමගියෙන් සමාදානයෙන්. දැන් අලුතෙන් ස්වාමීන් වහන්සේලා ඇවිත් දෙමළ ජනතාවගේ ඉඩම් අල්ලාගෙන විහාරස්ථාන ඉදිකරමින් පවතිනවා. මේක ඇත්ත වශයෙන්ම ඒක නොකළ යුතු වැඩක් හැරියට තමයි අපි දකින්නේ.
මේ නිසා කලබල වෙන්න එපා ජනතාව කවුරුත්. ලංකාවාසී සියලුම ජනතාව කල්පනාවෙන් කටයුතු කරන්න ඕන කම තියෙනවා.ඒ නිසා රජය මේකට ඉදිරිපත් වෙලා වැඩ කරනවා නම් හොඳයි කියලා තමයි මගේ අදහස. ඒ වගේම තමයි නාගදීප විහාරයේ හාමුදුරුවන් සමඟ මේක සාකච්ඡා කරනවා නම් යම් තැනකට ඇවිත්. එතකොට අපට ඔප්පු කරන්න පුළුවන් මේක ව්‍යාජ ස්ථානය ද සැබෑ ස්ථානය ද කියලා. එහෙම කවදාවත් රජයෙන් මා අපගේ ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගෙන කටයුතු කර නැහැ.
ඒ නිසා මේ සියලු දෙනා එකතුවෙලා මේකට විසඳුමක් සෙවීම තමයි මගේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ. එතකොට අපේ ජනතාව එක්ක පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ ගියොත් මේ විහාරස්ථානය මුල් කරගෙන මේ ප්‍රදේශයේ තියෙන අනෙක් විහාරස්ථානවලටත් කවදාවත් පවතින්න ලැබෙන්නේ නැහැ.
ඒ නිසා මේක සාමකාමීව විසඳන්න නම් මේ රජයේ පින්වත් පිරිස ඇතුළු ජනාධිපතිතුමාට මම කියන්නේ, ජනාධිපතිතුමනි ඔබ මුල් වෙනව නම් නාගදීප විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ හා ඒ තෛයඩි ප්‍රදේශයේ ඉන්න දෙමළ ජනතාව ඒ ඉඩම් අයිති අය ඔවුන්ගේ ඔප්පු තිරප්පු අරගෙන ඇවිත් ඔප්පු කරන්න පුළුවන් කම තියෙනවා. මටත් ඔප්පු කරන්න පුළුවන් කම තියෙනවා නියම තිස්ස විහාරස්ථානය තියෙන්නේ කොහේද කියන එක. විශේෂයෙන් මම ජනාධිපතිතුමගෙන් නැවතත් ඉල්ලා සිටිනවා මේ ගැන සාකච්ඡා කරලා විසඳගන්න. නැත්න්ම් ඉදිරියේ දී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.”
ජනධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දා යාපනයේ කළ සංචාරය අතරතුර දී ද මෙම තිස්ස විහාරය මුල් කරගනිමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. එහිදී ඔහු සඳහන් කළේ බෞද්ධයින් අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය පවා පසුකර, මඟහැර යාපනයේ එක් විහාරස්ථානයක් කරා පැමිණීම වැඩි වී ඇති බවයි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජාතිවාදය වැපිරීමේ අදහසින් වෛරී චේතනාවෙන් එය සිදු කරන බවකි.
