සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණයට හා විනිසුරුවන්ට අපහාස කරන අයට එරෙහිව දැඩි පියවර ගන්න… අධිකරණ සේවා සංගමය

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සාහයට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව විනිසුරුවන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමට දන්වා තිබෙනවා.

මෙම දැනුම් දීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ විවිධ පාර්ශව විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාවට හා අධිකරණ විනිසුරුවන්ට එරෙහිව අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීමයි.

මේ පිළිබඳව අධිකරණ සේවා සංගමයේ දැඩි අවධානය යොමු වී ඇති බවත් අධිකරණ සේවා කොමිසමේ තීරණවලට කෙළින්ම හෝ අන්‍යාකාරයකින් බලපෑම් කිරීම හෝ අධිකරණයට, විනිශ්චය අධිකාරියකට අපහාස කිරීම මෙන්ම විනිසුරුවන්ට අපහාස කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිර දඬුවම් ලැබිය යුතු වරදක් බව එමඟින් අවධාරණය කර තිබෙනවා.

අසත්‍ය හා පදනම් විරහිත විවේචන සමාජ ගත කිරීම මඟින් අධිකරණ පද්ධතිය පිළිබඳ ඇති මහජන විශ්වාසය පළුදු වීමටත් එමඟින් නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමට උත්සහ කරන නිශ්චිත මෙන්ම ඉලක්කගත උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ද? යන්න පිළිබඳව සිය සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බව අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන සහ සංගමයේ ලේකම් සුරංග මුණසිංහ යන අයගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක් මඟිනි.

Latest News

error: Content is protected !!