යාපනයේදී ජනපති ගමන් ගත් සුපිරි මෝටර් රථයේ අයිතිකරු මමයි..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත් වීමට පෙර පැවසූ ආකාරයට ප්‍රතිවිරුද්ධව ඔහුද මේ වන විට පූර්ව ජනාධිපතිවරුන් භුක්ති විඳිනු ලැබූ සියලු සැප සම්පත් විඳිමින් සිටින බව මේ වන විට එල්ල වී ඇති චෝදනාවකි.

මෑතකදී ඔහු යාපනයේ කළ සංචාරය අතරතුරදී ද හෙලිකොප්ටරයක් භාවිත කළ බවත් තවත් සුඛෝපභෝගී වාහනවල ගමන් ගත් බවටත් චෝදනා එල්ල වුණා.

ජනාධිපති පුටුවට පැමිණීමට පෙර “පස්ස තැබීමට ඔච්චර සැප වාහන ඕනද” වැනි ප්‍රශ්න ඇසීම නිසා ඔහුට පෙරළා එල්ල වන චෝදනා වැඩිය.

කෙසේ වෙතත් යාපනයේදී ගමන් ගත් බවට චෝදනා එල්ල වූ සුපිරි වාහනය නම් ජනාධිපතිවරයාට අයත් එකක් නොවන බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

නාගදීප රජ මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමිපාණන් වහන්සේ විසින් මෙම අනාවරණය සිදු කරමින් පවසා ඇත්තේ එම සුපිරි රියේ හිමිකාරිත්වය තමාගේ බවයි.

ජනාධිපති අනුර සිය යාපනය සංචාරය අතරතුර නාගදීප රජ මහා විහාරය වෙත පැමිණ තමන් වහන්සේ බැහැ දුටු බවත් ඉන්පසු නාගදීප විහාරයේ සිට කෝවිල අසලට ගමන් කිරීම සඳහා සිය මෝටර් රථය ජනාධිපතිවරයා වෙත ලබා දුන් බවයි උන්වහන්සේ පවසන්නේ.

උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේය.

එහිදී නාගදීප විහාරාධිපති හිමියන් තමා අනුරගේ හිතවාදියෙකු නොවන බවත් මහින්දවාදියකු වන බවද පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!