බුදු දහමට ප්‍රමුඛතාවය හිමිව යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති වගන්තිය ඉවත් කිරීමේ සූදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වැනි වගන්තිය, දෙවැනි වගන්තිය, තුන්වැනි වගන්තිය, සිව්වැනි වගන්‍තිය ජනමත විචාරණයක් නොමැතිව වෙනස් කළ නොහැකි බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
හිටපු ජනාධිපතිවරයා මෙය බව සඳහන් කළේ ඉකුත්දා ගාල්ල ප්‍රදේශයේ පැවති භික්ෂු උපහාර උත්සවයකට සහභාගී වෙමිනි.
එහිදී ඔහු අවධාරණය කර සිටියේ රටේ පාලකයින් බුදුදහමට ප්‍රමුඛත්වය දීම සඳහා බැඳී සිටින බවයි.
එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියා.
” දේවාලගම් පනත සම්මත කර තිබෙන්නේ බුද්ධාගමට දිය යුතු නිසි තැන ලබාදීම සඳහායි. ඒකෙන් කියන්නේ විහාරවල අයිති දේල් විහාර වලට අයිති බවත් දේවාල වලට ඇති දේවල් දේවාල වලට අයිති බවත්ය.
විශේෂයෙන්ම අපේ බැතිමතුන් දෙන රත්තරන් බඩු සියල්ලම අයිති වන්නේ විහාරයට නැත්නම් මේ දේවාලයටයි. ඕවට අත තියන්න ගිහින් රටට මොනවා වෙයිද කියල මම නම් දන්නේ නෑ.
මේ දේවල් ඉදිරිපත් කළේ සුද්දන්ගේ කාලයේ. ශ්‍රී ලංකාව ඩොමිනියන් රාජ්‍යයක් වුණාම එංගලන්තේ සිංහාසනයේ හිටපු රජතුමා තමයි අපේ ලංකාව රජතුමා වෙන්නෙත්. එතුමා ද බුදුදහම ආරක්ෂා කරන්න ඕන කියලා පිළිගත්තා.
දෙවැනි එළිසබත් රැජිනිය ලංකාවේ රැජිණිය හැටියට අපි පිළිගත්තා. එතුමිය 1954 ලංකාවට ඇවිල්ලා බුද්ධාගම ආරක්ෂා කරන එක පිළිගෙන ගිහින් දළදා මාලිගාවට මල් පූජා කළා. බෞද්ධ නොවන පාලකයින් පවා මේ දේවල් ඉදිරියට ගෙන ගිහින් තියෙනවා.
මේ දේවල් ආරක්ෂා කරන්න බුදු දහමට ප්‍රමුඛතාව දීම සම්බන්ධ වගන්තිය ව්‍යවස්ථාවට ඇතුළු කළ යුතු බව ජේ. ආර් ජයවර්ධන මැතිතුමා කිව්වා. ඒ අනුවයි අදාළ කටයුතු වුණේ.
අපි මේ කාරණා එතැනට ඇතුළු කර ජනතා පරමාධිපත්‍යය ජනතාවගේ කැමැත්ත නැතුව ඉවත් කරගන්න බැරි බව තහවුරු කළා. ඒ නිසා මේ දේවල් වෙනස් කරන්න රජයකට අයිතියක් නැහැ. ඒ වෙනස් කිරීමේ අයිතිය තිබෙන රටේ ජනතාවටයි.
අපේ සංඝයා වහන්සේලාට මෙන්ම ව්‍යවස්ථාවට අනුකුලව වැඩකරන ඕනෑම කෙනකු ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න දිවුරුම් දී තිබෙනවා. එහෙනම් මේ දේ උල්ලංඝනය කළොත් රටේ උත්තරීතර භාවය නැති කරන වැරැද්ද වැරැද්දක් වෙනවා.”
