ෂාරුක්ට ‘අන්කල්’ කිව්ව තුර්කි නිළි හන්දේට හතර වටෙන්ම ප්‍රහාර..

ජනවාරි 17 වන දින සෞදි අරාබියේ රියාද් හිදී ජෝයි සම්මාන උළෙල පැවැත්වුණේ ගෝලීය තරු රැසකගේ සහභාගිත්වයෙනි.

ඒ අතර බොලිවුඩ් සුපිරි තරුව ෂාරුක් ඛාන් සහ තුර්කි නිළි හන්දේ අර්ෂල් ද සිටියා. උත්සවය අවස්ථාවේ ෂාරුක් ඛාන් සමඟ එහි සම සත්කාරකත්වය දැරූ ඊජිප්තු නිළි අමිනා කලීල් සිටි වීඩියෝ ක්ලිප් එකක් වෛරල් වීමත් සමඟ තුර්කි නිළි හන්දේට අවසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදු වු බව වාර්තා වෙනවා.

අදාළ වීඩියෝවේ හන්දේ වේදිකාවේ සිටින ෂාරුක් ඛාන්ව ඇගේ ජංගම දුරකථනයෙන් රූගත කරන ආකාරය සටහන් වුණා. ඉන්පසු ෂාරුක් ඛාන්ගේ රසිකයින් හන්දේ ෂාරුක්ගේ රසිකාවියක් යැයි උදම් ඇනීමට පටන් ගෙන තිබුණා. ඒ සමඟ හන්දේගේ ඉන්ස්ටග්‍රෑම් තිරපිටපතක් වෛරල් වීමට පටන් ගත් අතර එහි හන්දේ අසා තිබුණේ “කවුද මේ අන්කල්” කියාය.

“මම වීඩියෝ කළේ මගේ යාළුවා අමීනාව. මම ෂාරුක් ඛාන්ගේ ෆෑන් කෙනෙක් නෙවෙයි” යනුවෙන් එහි සටහන් වුණා.

කෙසේ වෙතත් එම ප්‍රකාශයෙන් පසු පිස්සු වැටුණු ෂාරුක්ගේ රසිකයින් විසින් හන්දේගේ සමාජ මාධ්‍ය ගිණුම්වල දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන කරනු ලැබූ බවයි වාර්තා වුණේ.

“ඒ අන්කල්ගේ එක චිත්‍රපටයක් ඔබේ වෘත්තිය ජීවිතයටම වඩා විශාලයි.”, “ඔයා ෂාරුක් ඛාන්ට අන්කල් කියලා කතා කළාද? ඔයා එයාට වඩා වයසින් වැඩියි වගේ.” වැනි වෛරී ප්‍රකාශ හතර අතින් ඇයට එරෙහිව එල්ල වුණා.

කෙසේ වෙතත් හන්දේගේ රසිකයින් මෙම ප්‍රකාශය අසත්‍ය බවත් හන්දේ ෂාරුක් ඛාන්ට ගෞරව කරන බවත් මෙම ප්‍රකාශය ෂාරුක්ට වෛර කරන කණ්ඩායම් විසින් ඔහු අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් සංස්කරණය කර ඇති බවයි පවසා තිබුණේ. හන්දේ අර්ෂල් ද මේ වන විට “මෙය ව්‍යාජයි” යනුවෙන් පෞද්ගලිකවම ඇගේ සමාජ මාධ්‍යවල සටහනක් තබමින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Latest News

error: Content is protected !!