ට්‍රම්ප්ගේ ගාසා සාම මණ්ඩලයට පුටින්ගේ ප්‍රතිචාරය එයි

සාමාජික ගාස්තු ලෙස අමෙරිකාවේ අවහිර කර ඇති රුසියානු වත්කම්වලින් ඩොලර් බිලියනයක් ගත හැකි බව යෝජනා කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරය සඳහා යෝජනා කර ඇති සාම මණ්ඩලය සඳහා සාමාජික ගාස්තුව ලෙස දැනට අමෙරිකාව විසින් අවහිර කර ඇති (Frozen) රුසියානු වත්කම් වලින් අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ලබා ගත හැකි බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබෙනවා.

බදාදා රාත්‍රියේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී, රුසියාව යුක්‍රේනය අතර අතර ගිවිසුමකට එළඹෙන්නේ නම් යුද්ධයෙන් විනාශ වූ යුක්‍රේනය නැවත ගොඩ නැගීමට ද රුසියානු අවහිර කළ වත්කම්වලින් කොටසක් ලබා දීමට කැමති බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රදානය සිදු කරමින් පලස්තීන ජනතාව සමඟ රුසියාවේ විශේෂ සම්බන්ධතාවය ද ඔහු අවධාරණය කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ විශේෂ සාම නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජෙරඩ් කුෂ්නර් සමඟ පැවති සාකච්ඡා අතරතුර ට්‍රම්ප් විසින් මෙම යෝජනාව පිළිගෙන ඇති බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට ඔවුන් මොස්කව් වෙත යාමට අපේක්ෂා කරන බව ද සඳහන්ය.

රුසියානු ජනාධිපතිවරයා ඔහුගේ කතාව අතරතුර අමෙරිකා ජනාධිපතිවරයාගේ සාම ප්‍රයත්නය අගය කර ඇති අතර යුක්‍රේන රුසියා සාම මැදිහත්වීම සම්බන්ධයෙන් ද ට්‍රම්ප් වෙත සිය ප්‍රශංසා පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

රුසියාව සතුව ඇමරිකා එක්සත් ජනපදයේ කොපමණ අවහිර කළ වත්කම් තිබේද?

ඇමරිකා එක්සත් ජනපදයේ ආසන්න වශයෙන් රුසියාව සතුව ඩොලර් බිලියන 4-5 ක අවහිර කළ වත්කම් ඇති බවයි පැවසෙන්නේ. මේවාට මුදල්, බැඳුම්කර සහ අනෙකුත් සුරැකුම්පත් ඇතුළත් වන අතර ඒවා ප්‍රධාන වශයෙන් රුසියානු මහ බැංකුවේ විදේශ විනිමය සංචිතවලින් කොටසකි. රුසියානු මහ බැංකුවට අනුව, බටහිර රටවල ආසන්න වශයෙන් ඩොලර් බිලියන 300 ක වත්කම් මෙසේ අවහිර කර තිබෙනවා. එය යුක්‍රේන යුද්ධය ආරම්භයේදී බැංකුව සතුව තිබූ විදේශ මුදල් සහ රන් සංචිතවලින් අඩකි. මේවාට අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් අනුමත කර ඇති පෞද්ගලික රුසියානු පුරවැසියන්ට අයත් වත්කම් ද ඇතුළත්ය.

Latest News

error: Content is protected !!