සමගි ජන බලවේගය කිසි විටෙකත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නොමැති බවත් එබැවින් ආණ්ඩුවේ සිට විපක්ෂයට චෝදනා කිරීම ඵලක් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, කාරණා කිහිපයක් මුල් කරගෙන කල් තබනු ලැබුවේ විපක්ෂයෙන් නොව ජනාධිපතිවරයා විසින් බව ඔහු කියා සිටියා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට දශක ගණනාවක සිට බාධාව වූයේ මේ වන විට එම ප්‍රතිසංස්කරණ යෝජනා කර ඇති බලවේගය විසින් වීම දෛවයේ සරදමක් බවයි ඔහු පවසන්නේ.
මුජිබර් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල් තැබීමේ විවාදය අතරතුරදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා…,
“අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධ නෛතික රාමුවේ තිබෙන්නේ වසර අටෙන් අටට විෂය මාලා ප්‍රතිසංස්කරණ කිරීමයි. අවසන් වරට 2023 වසරේ කරන්නට තිබූ විෂය මාලාව ප්‍රතිසංස්කරණය රටේ තිබූ ආර්ථික තත්ත්වය සමඟ සිදුවුණේ නැහැ. අලුත් තාක්ෂණය සමඟ දැනුම මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව සමගි ජන බලවේගයද මතයයි. අප කිසිවෙකුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නැහැ. ඒ නිසා ආණ්ඩුවේ සිට විපක්ෂයට චෝදනා කිරීම කිසිම වැදගත්කමක් නැති දෙයක්.
80 අවුරුද්දේ ධවල පත්‍රිකාව ගේන විට විරුද්ධ වුණේ කවුද? දකුණු කොරියාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කළේ ඊටත් පස්සේ. අපට එදා ඒ ප්‍රතිසංස්කරණ කරන්නට දුන්නා නම් දකුණු කොරියාවටත් වඩා ඉදිරියෙන් අප ඉන්නවා. ඒ ප්‍රතිසංස්කරණය කරන්නට ඉඩ නොදුන් අය අද බලයට ඇවිත් ඉන්නවා. දැන් තමුන්නාන්සේලාට ඇවිත් ඒක කර ගහගෙන යන සිද්ධ වෙලා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නයි දැන් රට පුරා උද්ඝෝෂණ කරනවා. ඒවා කරන්නේ ආණ්ඩුවට සම්බන්ධ පිරිස්, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්තුවේ කවුද? ජනාධිපතිතුමායි. එහෙනම් ජනාධිපතිතුමා ඉන්නෙ විපක්ෂයේද? දැන් අපිට චෝදනා කරන්නේ ඇයි? ක්‍රමවේදයට අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙන්න.
