2029 පොහොට්ටුවේ පොදු අපේක්ෂකයා, නාමල් නෙවෙයි ලිමිණි..

ඩෙම්බේ “JEM-bae” ලෙස උච්චාරණය කරන djembe කියන්නේ බටහිර අප්‍රිකාවේ මුලාරම්භය සහිත බෙර විශේෂයක්. මේ බෙරේ පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල වැඩිපුර දකින්න ලැබුණේ අපේ ඇස්වලට හුරු කරන්න වගේ.

නිකන්ම නිකන් හුරු කරන්න නෙවෙයි, අනාගත ජනාධිපති ආර්යාව ලිමිණි රාජපක්ෂව ඇස්වලට හුරු කරන්න කරන ප්‍රචාරණ ව්‍යාපාරයක කොටසක් කියන කසු කුසුවක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා.

බෙරය අපේ සිංහල බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවයන් පිළිබිඹු කරන වාද්‍ය භාණ්ඩයක්නෙ. බෙර හඬක් ඇහෙනකොට අපේ කම, සිංහල කම කියන හැඟීමක් එක්ක හිත යටින් නැටවෙන ගතියක් තියෙනවා. ‘අපි යක්කු බොලව්’ සිංහලයින්ට මේ හඬ විශේෂයි.

පොහොට්ටුවේ නාමල් අනාගත ජනාධිපති කරන මෙහෙයුම මේ අල්ලලා තියෙන්නේ ඒ සිංහල බෞද්ධ නිලයද?

ලිමිණි වීරසිංහ කියන්නේ කොළඹ බිෂොප් විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්. ප්‍රකට ව්‍යාපාරික පවුලකින් එන ලිමිණි පාසල් කාලේ අති දක්ෂ djembe වාදන ශිල්පිනියක්. ඇය ලංකාවේ අංක එකේ djembe වාදන ශිල්පිනියක් කිව්වත් වැරදි නැහැ.

කොළඹ බිෂොප් ව්දුහලේ Goosha Beat to Beat 2017 වසරේ පාසැලේ ඉදිරිපත් කරපු වාද්‍ය කංඩායමේ youngest female djembe drummer වුණෙත් ඇයයි.

මේ දවස්වල djumbe වාදනය කරන ඇගේ වීඩියෝ ක්ලිප් වගයක් ඡායාරූප කිහිපයක් වැඩිපුර අපේ ඇස්වලට පේන්න තියෙනවා. ඒ ඡායාරූප යටින් වැටුණු කමෙන්ට්ස් බහුතරයක තියෙන්නේ මේවා AI කියලා. ලිමිණිට බෙර ගහන්න පුළුවන් නම් බැරියැ වගේ නෙගිටිව් කමෙන්ට්ස්. හැබැයි ලිමිණි දක්ෂ බෙර වාදන ශිල්පිනියක් කියන එක බොරුවක් නෙවෙයි.

මේ සිදුවීමත් එක්ක ලිමිණිට ගහන්න වෙනම පේජ් පවා හදලා. කොහොමහරි ලිමිණි මේ විදියට එකපාර උඩට ආව එක අභ්‍යන්තර දේශපාලන කවවල ලොකුම මාතෘකාවක්. අනාගත ජනජනාධිපති ආර්යාව විදියට ලිමිණිව ඇහැට හුරු කිරීමේ ව්‍යාපෘතියක් කියලයි ඇතුළේ කතා වෙන්නේ.

රගර් ගහලා, දළඳා මාළිගාව වටේ රේස් පැදලා නාමල්ලා නැති කරගත්ත ජන ප්‍රසාදය නැවත ඇති කරන්න ගහන ගේමක් කියලත් අතරින් පතර ඇහෙන්න තියෙනවා. එතනදි නාමල්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ආයුධයක් තමයි සිංහල බෞද්ධයින් ඇහුවත් නැටවෙන බෙරය. ලිමිණි බෙර ගහනවා කියන එක ඇත්තටම නාමල්ට වෙස් වලාගෙන ආව ආශිර්වාදයක් වගේ.

මේ අවු අස්සෙ කතාවෙන හොඳම කතාව ඒක නෙවෙයි. 2029 ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂිකාව විදියට ලිමිණි ඉදිරිපත් කරන්න යනවා කියන එක තමයි හොඳම කතාව.

නාමල්ගේ මුළු දේශපාලන ව්‍යාපෘතියම මේ වෙනකොට කරගෙන යන්නේ 2029 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බව රහසක් නෙවෙයි. හැබැයි ඒකට තවමත් වෙලාව නෙවෙයි කියලා ඇතුළෙන් කතාව යනවා.

නාමල්ට දැනටමත් වැටුණු නඩු 19ක් විතර තියෙනවා. රාජපක්ෂලා ගැන දරුණු, කා වැදුණු සමාජ විරෝධයකුත් තියෙනවා. වෛරයකුත් තියෙනවා.

හැබැයි පිටින් ආව ලිමිණිට මිනිස්සු ඒ තරමටම වෛර කරන්නෙ නැහැ. මේ සියලු දේ මත 2029 ජනාධිපතිවරණයට නාමල් වෙනුවට ලිමිණි එන්න ඉඩ තියෙනවා කියලායි ඇතුළෙන් ඇහෙන්න තියෙන්නේ.

බෙර හඬ වැඩිපුර අපේ කන්වලට ඇහෙන්නේ ඇස්වලට පේන්නේත් ඒ නිසා වෙන්න පුළුවන්.

Latest News

error: Content is protected !!