ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා සිය වැඩ තහනම් කිරීමට එරෙහිව අධිකරණය හමුවට යාමට සූදානම් වන බව ඔහුගේ සමීපතම ආරංචි මාර්ග කිහිපයක් තහවුරු කර තිබෙනවා.
මෙම වැඩ තහනම ලබා දී ඇත්තේ ස්වභාවික යුක්තියේ මූලික මූලධර්මවලට පවා පටහැනිව වන අතර එම නියෝගය ලබා දී ඇත්තේ අවම වශයෙන් ඔහුගෙන් නිදහසට කරුණු විමසීමකින් හෝ සිදු කිරීමකින් තොරවය. පරීක්ෂණ අවසන් වන තෙක් නියෝජ්‍ය මහ ලේකම්වරයාට පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. එහෙත් මේ වන තුරුත් ඔහුට චෝදනා පත්‍රයක් ද ලබා දී නැති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙම තීන්දුව ගනු ලැබුවේ පසුගිය සිකුරාදා (23දා) රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසිනි. කථානායක, සභානායක, විපක්ෂනායක, මුදල් අමාත්‍යවරයා හෝ ඔහුගේ නියෝජිතයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙම උපදේශක සභාවේ නිලධාරීන් වන අතර පැවති රැස්වීමට කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, සභානායක අමාත්‍යාංශය බිමල් රත්නායක, විපක්ෂනායක වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා, මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි අනූෂා රෝහණදීර යන මහත්ම මහත්මීහු එයට සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.
චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා කැඳවා ඔහුගෙන් නිදහසට කරුණු විමසා නොතිබීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මෙහිදි ප්‍රශ්න කර තිබෙනවා. නියෝජ්‍ය මහ ලේකම්වරයාට එරෙහිව ක්‍රියාත්මක වූ “මූලික පරීක්ෂණය” ව්‍යවස්ථාපිත නීතිය සහ ස්ථාපිත පරිපාලන රිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව එහිදි පෙන්වා දී ඇතැයි සඳහන්ය.
මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට මෙම ක්‍රියාවලිය පරිපාලනමය පියවරක් නොව, ද්වේශසහගත චේතනාවෙන් සහ බලය අනිසි ලෙස යොදාගනිමින් සිදු කළ වැඩ තහනමකි.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව වැඩ තහනම කතා නායකවරයාගේ පෞද්ගලික කරුණක් අනාවරණය කිරීම සම්බන්ධයෙන් සිදු කර ඇති පළිගැනීමක් බවයි පැවසෙන්නේ.
එහෙත් පාර්ලිමේන්තු මූලාශ්‍රයන්ට අනුව චමින්ද කුලරත්න මහතාට එරෙහිව අදාළ පරීක්ෂණය පැවතියේ ඔහු තම තනතුරට ස්ථිර කර ගැනීමට ව්‍යාජ තොරතුරු සපයා ඇති බවට චෝදනා එල්ල කරමිනි.
