ශිරන්ති නමට මිලදීගත් කෝටි 40 ක නිවසක් ගැන විමර්ශනයක් ආරම්භ වේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ නමට මිලදී ගත් බව කියන, රුපියල් කෝටි 40ක් පමණ වටිනා නිවසක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා.

කොළඹ 05, ටොරින්ටන් මාවතේ පිහිටි ලිපිනයෙහි පවතින මෙම නිවස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීමට පෙර සිටම පදිංචි වී සිටි නිවස බවයි සඳහන් වන්නේ. ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, අදාළ නිවස ශිරන්ති රාජපක්ෂගේ නමට මිලදී ගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙනවා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු විසිනි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පැමිණිල්ලට අදාළව කරුණු තහවුරු කර ගැනීම සඳහා මේ වනවිටත් පැමිණිලිකරුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

විමර්ශනවල මීළඟ පියවර ලෙස ශිරන්ති රාජපක්ෂගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

එම නිවස මිලදී ගැනීම සඳහා වැය කළ අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බැවින්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිලිකරු අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

Latest News

error: Content is protected !!