නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු වන (Trident Chemphar) සහ ජනපති අනුර කුමාර දිසානායක අතර දුරකතන සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙනවා.
සාකච්ඡාව අතරතුර ගල් අඟුරු සැපයීමේ දී මතුව ඇති තත්වය පිළිබඳ දෙපාර්ශවය අතර අදහස් හුවමාරුවී ඇති බවයි සඳහන් වන්නේ. මෙහි දී සැපයුම්කරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ සියළු සැපයුම් සාම්පල ‘තුන්වන පාර්ශවයක් හරහා නැවත පරීක්ෂාවකට’ අවසර ලබා දෙන ලෙසයි.
ගල් අඟුරු සැපයුම්කරු හා ජනාධිපතිවරයා අතර මෙම සාකච්ඡා සිදු වී ඇත්තේ ජාතික ජන බලවේගයේ විශාලතම ටෙන්ඩරය දූෂිත බවට එල්ල වන චෝදනා මධ්‍යයේය.
ගල් අඟුරුවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ඉන්දියාව වෙත යැවූ පළමු නැව් සාම්පලයේ අවශ්‍ය කිලෝ කැලරි ප්‍රමාණය අඩු බවට තහවුරු වීමත් සමඟ ආණ්ඩුව එයට දඩයක් නියම කරනු ලැබුවා. දෙවන ගල් අඟුරු නැවේ ප්‍රමිතිය නියමිත මට්ටමින් පැවති අතර මේ වන විට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පවසන්නේ තුන්වන ගල් අඟුරු නැවේ ප්‍රමිතිය දුර්වල බවයි.
සෑම නැවකටම ගල් අඟුරු පැටවීමේදී හා නොරොච්චෝලේ දී දෙවරක් පරීක්ෂා කරනු ලබයි. ලෝකයේ පිළිගත් රසායනාගාරයක් වෙත පළමු නැවේ සාම්පල යැවීමට බලශක්ති අමාත්‍යාංශය අවසර දී තිබු නමුත් දෙවන හා තුන්වල නැව්වල ප්‍රමිතිය තුන්වන පාර්ශවයක් හරහා පරීක්ෂා කිරිමට නොරෙච්චෝල බලධාරීන් අවසර ලබා නොදුන් බැවින් ගිවිසුම් අනුව ‘අම්පයර් සාම්පල්” පරීක්ෂණයට අවස්ථාව ලබා දෙන ලෙස සැපයුම්කරුවන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා තිබෙනවා.
ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගිවිසුම් අනුව කටයුතු කළ හැකි බවත්, නැවත පරීක්ෂණ වාර්තා අනුව කටයුතු සිදු කිරීමට තමන් සුදානම් බව ප්‍රධාන සැපයුම්කරු ජනාධිපතිවරයාට මෙහිදී සහතික වී ඇති බවයි පැවසෙන්නේ. ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ ගිවිසුම් ප්‍රකාරව ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කරන ලෙස ය. සැපයුම්කරුවන් එයට එකඟත්වය ලබා දී ඇතැයි සඳහන්ය.
විදුලිබල මණ්ඩලය විසින් නිසි පහසුකම් නොමැතිව ලංකාව තුළ ගල් ඇඟුරු පරීක්ෂා කර ඉදිරිපත් කරන වාර්තා පිළිගැනීමට තමන්ට නොහැකි බවත්, ඒ සඳහා ගිවිසුමට අනුව කටයුතු කරීම අවහිර කර ඇති බව ද ජනාධිපතිවරයා වෙත වාර්තා කර තිබුණා. විදුලිබල මණ්ඩලය විසින් කිසිදු විධිමත් අවසරයක් නොමැතිව සිදු කරන නිල නොවන වර්තා මාධ්‍ය මගින් එළිදැක්වීම හේතුවෙන් මේ වන විට අන්තර් ජාතික මට්ටමේ අර්බුදයක් ගොඩ නැගෙමින් ඇති බව ද ජනාධිපතිවරයා වෙත සැපයුම්කාර සමාගම විසින් දැනුම් දී තිබෙනවා.
මේ වන විට ගල් අඟුරු නැව් 3 ක් ලංකාවට ළඟා වී ඇති අතර තවත් තුනක් ළඟා වෙමින් පවතී.
