රනිල්ගේ විදෙස් සංචාරයට වැඩි මුදලක්, ඒ ගැන හොයන්න එංගලන්තෙට ගිය CID කණ්ඩායමට වියදම් වෙලා

රාජ්‍ය මුදල් අවභාවිතාව රු ලක්ෂ 166යි.. එංගලන්තයට ගිය විමර්ශක කණ්ඩායමේ වියදම රු ලක්ෂ 300යි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය මුදල් අවභාවිත කිරීම පිළිබඳ බවට එල්ල වන චෝදනා විමර්ශනය සඳහා එක්සත් රාජධානියට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් ප්‍රකාශ ලබා ගෙන නොමැති බව අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයහ් හමුවේ අනාවරණය වී තිබෙනවා.

මෙම සංචාරය සඳහා බ්‍රිතාන්‍යයේ වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු බව කියන ආරාධනා පත්‍රයේ සත්‍යතාව පිළිබඳව විමර්ශනය කිරීමට ගිය නිලධාරීන් බ්‍රිතාන්‍යයට ගොස් විශේෂ විමර්ශනයක් සිදු කර ඇති බවත්, ඊට අදාළ සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළා.

එහිදී, CID නිලධාරීන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 13 දෙනෙකුගෙන් ලබා ගන්නා ලද ප්‍රකාශ වලින් රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය පුද්ගලික සංචාරයක් බව අනාවරණය වී ඇති බවයි ඔහු පැවසුවේ.

“අත්දැකීම් සහිත නිලධාරීන් පිරිසක් පසුගිය නොවැම්බර් 13 වැනිදා එංගලන්තයට ගියා මේ පිළිබඳ විමර්ශනයක් කරන්න. එංගලන්තයේ ලන්ඩන් නුවර තානාපති කාර්යාලයේ නිලධාරීන් 13 දෙනෙක්ගෙන් ප්‍රකාශ ලබා ගත්තා. එම සාක්ෂිකරුවන් පැවසුවා රනිල් වික්‍රමසිංහට අඩුම තරමේ ඒ උත්සවයේ නිශ්චිත ආසනයක්වත් තිබ්බේ නැහැ. බැල්කනියේ තමයි හිටියේ කියලා. කතාවක්වත් පවත්වන්න අවස්ථාවක් දුන්නේ නැහැ. ඔහු ඉතාම සාමන්‍ය පුද්ගලයෙකු විදියට එතනට ආවේ. කිසිම රාජ්‍ය ආරාධනයක් තිබුණේ නැහැ.

මෙහිදී ඊට එරෙහිව අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥ තිලක් මාරපන මහතා කියා සිටියේ එම කරුණුවලින් 90%ක්ම අදාළ නොවන බවයි.

“ආරාධනා ලිපිය ව්‍යාජ එකක් කියලා අදත් අවස්ථා කිහිපයකදිම කිව්වා. එහෙනම් ඒ ආරාධනා පත්‍රයට අත්සන් කරපු වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයට ගිහින් බලන්න ඕන අත්සන යෙදුවේ කවුද කියලා.

එහිදී මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් අදාළ විශ්වවිද්‍යාලයෙන් ප්‍රකාශ සටහන් කරගත්තාද යන්න විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ “ස්වාමිනි එය අතිශය පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. කිසිම රාජ්‍ය අනුග්‍රහයක් නැහැ” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ වික්‍රමසිංහ මහතා සිදු කළා යැයි පැවසෙන රාජ්‍ය මුදල් අවභාවිතාවට වඩා වියදමක් ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා එංගලන්තයට ගිය නිලධාරීන් කණ්ඩායම වියදම් කර ඇති බවයි. සමාජ මාධ්‍යවල පළවන ආකාරයට එම මුදල රු ලක්ෂ 300කට අධික බව ඔහු පැවසුවා.

“මේක හොඳ පාඩමක් වර්තමාන රාජ්‍ය නිලධාරීන්ට. ඒ අය කරන කියන සෑම දෙයක් ගැනම මේ රටේ මිනිස්සු අවධානයෙන් ඉන්නවා. හොඳම උදාහරණය අපි දැක්කා මේ කාරණාව සම්බන්ධයෙන් එංගලන්තයට ගියා පොලිසියේ කීපදෙනෙක්. ඒ ගිය අය පිළිබඳ විමසීමක් කළා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ. හැබැයි ඒ තොරතුරු ලබා දිම ප්‍රතික්ෂේප කළා. මේ රු ලක්ෂ 166ක් ගිය කාරණාව හොයන්න එංගලන්තයට ගිය කණ්ඩායමට ලක්ෂ 300කට වැඩිය වියදම් වුණා කියලා සමාජ මාධ්‍යවල යනවා. එහෙම නම් ජනතාව දැනුව්ම්වත් වෙන්න ඕන මේක ඇත්තක්ද කියලා. අවභාවිත කළ ගාණට වඩා පරීක්ෂණයට වියදම් වුණාම මේ නිලධාරීන් කොහේද ගියේ, මොනවද කළේ දැනගන්නත් වෙනවා. මේ වගේ කාරණා සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රශ්න එනවා. හැමදාම නත්තල් නෑනේ. රාජ්‍ය නිලධාරීන් දැනගන්න ඕන තමන්ගේ ආරක්ෂාව රැකගෙන වැඩ කරන්න. ”

එංගලන්තයට සංචාරයට ගිය ද අදාළ විශ්වවිද්‍යාලයට ගොස් ප්‍රකාශ සටහන් කර ගෙන නොමැති බව අධිකරණය හමුවේ අනාවරණය වූ බව නීතිඥ ප්‍රේමනාත් දොළේවත්ත මහතා ද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කර සිටියා.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එංගලන්තයට ගියාට ගියපු කාර්යය කරලා නැහැ. අපට පෙන්න තියෙන්නේ වරදක් ඇතුළේ වරදක් වෙලා තියෙනවා.”

Latest News

error: Content is protected !!