ගුවන් තොටුපළ ජ්‍යාත්‍යන්තර ආරක්ෂක රෙගුලාසිවලට ඇමතිගෙන් බලපෑම්.. සභාපති ඉල්ලා අස්වීමෙන් පසු එළියට ආ කතාව

ගුවන් තොටුපොළ තුළ ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන් පවත්වාගෙන යාම කෙරෙහි දේශපාලන අධිකාරියේ මැදිහත්වීම් මතුවෙමින් පවතින බවට ප්‍රබල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

මෙම තත්ත්වය පැන නැඟුණේ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඊයේ (28) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟයි.

විෂය භාර අමාත්‍යවරයා විසින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගුවන් තොටුපළේ අතිසංවේදී ආරක්ෂිත කලාප (Sterile Areas) වෙත ඇතුළුවීම සඳහා නායක හිමිනමකට ස්ථිර ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල අවසර පත්‍රයක් නිකුත් කරන ලෙස අමාත්‍යවරයා සභාපතිවරයාට නියෝග කිරීමෙන් පසු සභාපතිවරයා සහ අමාත්‍යවරයා අතර ඇති වූ ගැටුමක් මෙම තත්ත්වයට හේතුවුණු බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන්ට අනුව එවැනි අවසර පත්‍රයක් නිකුත් කිරීම රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බව පවසමින් සභාපතිවරයා එම නියෝගය ඉටුකිරීම සෘජුවම ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන් වන්නේ.

ආරක්ෂක පටිපාටි සම්බන්ධයෙන් ඇති වූ මෙම එකඟ නොවීම හමුවේ හර්ෂ අබේවික්‍රම සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති අතර ඉන් අනතුරුව ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ වැඩබලන සභාපතිවරයා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

හර්ෂ අබේවික්‍රම යනු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු අණදෙන නිලධාරියෙකු වන අතර වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂක රෙගුලාසි සම්බන්ධයෙන් දැඩිව පෙනී සිටින නිලධාරියෙකු ලෙස ප්‍රකටය.

Latest News

error: Content is protected !!