අරගලයේ දේපළ හානි වන්දි යළි අය කර ගැනීම: ගෝඨාභය ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි

ගාලු මුවදොර අගරලෙයෙන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩ සිද්ධිවලින් විනාශ වූ දේපළවලට වන්දි ලෙස හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් අනීතිකව ලබාගත් මුදල් යළි අයකර ගැනීමට නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට නොතිසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28දා) පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය සිදු කරනු ලැබුවේ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් ගොනුකර තිබූ එම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදීය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදාපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න, හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

එම සිද්ධියේදී රට පුරා ඇතිවූ කලහකාරි තත්ත්වය නිසා නිවාස ඇතුළු නිවාසවලට හානි සිදුවූ බව පෙන්වා දෙමින් දේශපාලනඥයන් ඇතුළු 43 දෙනකු රුපියල් බිලියන 1.22 ක් වන්දි ලෙස ලබාගෙන ඇති බව පසුගිය වසරේ පෙබරවාරි 5 වැනිදා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර ඇති බවයි පෙත්සමෙහි වැඩි දුරටත් සඳහන් වන්නේ.

පවතින නීතිය අනුව ස්වාභාවික ආපදාවකදී සිදුවන හානිවලට පවා එක් අයකුට ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25ක් වුවත් ඇතැම් හිටපු මැති ඇමැතිවරුන් එයට වඩා ඉහළ මුදලක් ලබා තිබීම මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එකී වන්දි ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසටත් ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් කරන ලෙසත් නීතිය ඉක්මවා වන්දි මුදල් ලබාගෙන ඇති පිරිසගෙන් එලෙස වැඩිපුර ලබාගත් මුදල් ආපසු අයකර ගැනීමට නියෝගයක් කරන ලෙසත් එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්ය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා කරුණු දක්වමින් පෙර දිනයේ අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව වගඋත්තරකරුවන්ගේ නිවැරදි ලිපින මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කොට ඇතැයි දැනුම් දී තිබෙනවා.

Latest News

error: Content is protected !!