මෙරට සිනමා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ජාතික සිනමා පාසලක් ස්ථාපිත කිරීම සඳහා මූලික සාකච්ඡාවක් කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් පවත්වා තිබෙනවා.
ජාතික සිනමා පාසලක් ස්ථාපිත කිරීම දිගුකලක් මුළුල්ලේ කථිකාවකට ලක්වන මාතෘකාවකි.
එහෙත් කිසිදු රජයක් යටතේ එය ක්‍රියාත්මක කිරීම යථාර්ථයක් වුණේ නැහැ.
එබැවින් සියලු අදාළ පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ පවතින සම්පත්වලින් එය ආරම්භ කිරීමත් අනතුරුව ක්‍රමිකව එය ශක්තිමක් කිරීමේත් අවශ්‍යතාව මෙහිදී පෙන්වා දී තිබෙනවා.
මෙම කරුණු සාකච්ඡා වුණේ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු සංසදය අතරතුරදීය.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, ජාතික චිත්‍රපට සංස්ථාව, රාජ්‍ය සිනමා අනු මණ්ඩලය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, කලා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, අංග රචනා ශිල්පීන්ගේ සංසදය, සාක් සංස්කෘතික මධ්‍යස්ථානය, සිනමා අධ්‍යයනය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වී සිටියා.
මේ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික චිත්‍රපට සංස්ථාවේ දැනටමත් පවතින සම්පත් යොදාගනිමින් මෙම ජාතික සිනමා පාසල ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පියවර පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
ඊට අදාළ නෛතික රාමුව සකස් කිරීමත් අවශ්‍ය මූලික අනුමැතීන් ලබා ගැනීම ඇතුළු මූලික ඉදිරි පියවර සකස් කිරීම සඳහාත් කමිටුවක් ස්ථාපිත කිරීම ද මෙහිදී සිදු කෙරුණා.
එසේම මෙම සිනමා පාසලේ විෂය මාලාව ඇතුළු අධ්‍යයන කටයුතු සැලසුම් කිරීම සඳහා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත තවත් කමිටුවක් ස්ථාපිත කිරීමටද කටයුතු කර තිබෙනවා.
එසේම, දැනට අක්‍රීයවී ඇති කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල (International Film Festival, Colombo) මේ වසරේදී නැවත ආරම්භ කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරුණා.
මේ අතර චිත්‍රපට නිෂ්පාදන කටයුතු සඳහා නවීන තාක්ෂණයෙන් යුතු චිත්‍රාගාර සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වුණා. කොළඹට නුදුරින් සුදුසු භූමි භාගයක මෙය ඉදිකිරීමේ අවශ්‍යතාවයත් ඒ අනුව ගත යුතු ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.
