වර්තමනාය වන විට පුරප්පාඩු වී තිබෙන රජයේ තීරණාත්මක තනතුරක් ලෙස සැලකෙන ‘විගණකාධිපති තනතුර’ පිරවීම මේ වන විට විශාල අර්බුදයක් බවට පත් තිබෙන්නකි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර වාද විවාද සහ කඹ ඇදීම් උත්සන්නවීම, විගණකාධිපති තනතුර මාස දහයක් වැනි කාල සීමාවක් තිස්සේ හිස්ව පැවතීමට හේතු වී තිබෙනවා.
අදාළ තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් මේ දක්වා යෝජනා කළ නම් හතරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මඟින් විවිධ හේතුන් මත වරින් වර ප්‍රතික්ෂේප කිරීම තුළ මෙම මතභේදාත්මක තත්ත්වය නිර්මාණය වුණා.
නව විගණකාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණාත්මක රැස්වීමක් හෙට (3) අඟහරුවාදා සවස 2.00 ට පැවැත්වීමට නියමිතව ඇත්තේ එවන් පසුබිමකය.
රජයේ ආරංචි මාර්ග පවසන ආකාරයට ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා පස්වන නම ද යෝජනා කර ඇති අතර හෙට රැස්වීමේදී ගැටලුව විසඳා ගැනීමට කටයුතු කරනු ඇති බවයි සඳහන් වන්නේ.
ප්‍රවාහන හා මහා මාර්ග නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක මහතා ද පෙරේදා මහනුවරදී මේ බව සනාථ කරමින් ප්‍රකාශයක් සිදු කර තිබුණා.
විගණකාධිපති ධුරයට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරන ලද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීනියක වන එල් එස් අයි ජයරත්න මහත්මියගේ නම එම සභාවට නැවතත් යොමු කර ඇති බව ද වාර්තා වෙනවා.
ඇයගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇයට විරුද්ධව පරීක්‍ෂණයක් පවත්වන හෙයිනි.
එමෙන්ම විවෘත විශ්ව විද්‍යාලයේ ‘බර්සා’ හෙවත් මූල්‍ය අධිකාරී ලෙස කටයුතු කරන ඩබ්.එම්.කේ.ජී.ඒ වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා යෝජනා කර ඇති බවට ද වාර්තා පළ වෙමින් පවතී.
