ඔහුගේ කැපවීම විස්තර කිරීමට වචන සොයාගන්න බැහැ…
සිය මව කරේ තියාගෙන සත් සමුදුර තරණය කළ පුතෙකු පිළිබඳ අප අසා තිබුණේ පන්සිය පනස් ජාතක පොතෙනි. ඒ මාතුපෝසක ජාතකයයි.
එම කතාවට යළි පණ දුන් පුතෙක් පිළිබඳ බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී තිබෙනවා.
ඔහු ඔස්ටින් ඇපල්බී නම් දරුවෙකි. ඔහුට වයස අවුරුදු 13 ක් බව ඇසීමෙන් සියලු දෙනා විමතියට පත් වූයේ එය එතරම්ම බැරෑරුම් ක්‍රියාවක් නිසාය.
කුඩා දරුවෙකුට තබා මහ මිනිසෙකුට පවා සිතා ගත නොහැකි වික්‍රමයක් බැවිනි.
ඔස්ටින් ඔහුගේ මව වන ජොඈන් හා ඔහුගේ අවුරුදු 12 හා 8 වැනි වයස්වල සිටින බියූ සහ ග්‍රේස් නමැති සොහොයුරන් බේරා ගැනීමට මහමුහදේ කිලෝමීටර් හතරක් පමණ තරණය කර තිබෙනවා.
ඔවුන් ජියෝග්‍රාප් බොක්කේ ක්වින්ඩලප් අසල පැඩල්බෝඩිං කරමින් සිටියදී සැඩ රළ පහරකට හසුව මුහුද මැදට ඇදී ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුර වටහා ගත් කුඩා ඔස්ටින් වහාම ගොඩබිම දෙසට පිහිනීමට උත්සහ කර තිබෙනවා.
ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතට අනුව, ඔස්ටින් මුලින් පිම්බෙන Kayak බෝට්ටුවක් භාවිත කරමින් පිහිනන්නට පටන් ගෙන ඇති නමුත් කෙටි වේලාවකින් එයට වතුර අල්ලා ඇති බැවින් එය අතහැර දමා ඇතිබව සඳහන් වෙනවා.
පළමු පැය දෙක ගත වන විට ඔහුගේ ජීවිතාරක්ෂක කබාය පිහිනුම් වේගය අඩු කරන බව දැනෙන විට ඔහු එයින් භාගයක් ද ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
“රළ ගොඩක් විශාලයි, මට ජීවිතාරක්ෂක කබායක් නැහැ, මට ඕන වුණේ තවදුරටත් පිහිනන්න විතරයි”
පැය හතරක් පුරාවට පිහිනු ඔහු අවසානයේ ගොඩබිම වෙත ළඟා වූ අතර ඔහුගේ පවුල අනතුරක බව පොලිසියට දැනුම් දීමට සමත් වී තිබෙනවා.
පසුව ඔහුගේ මව සහ සහෝදරයින් කිලෝමීටර් 14ක් පමණ ඈත පැඩ්ල්බෝඩ් එකක එල්ලී සිටියදී සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.
ඔස්ටින්ට ස්තූතිවන්ත වන්නට ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඔවුන් ගලවා ගත් බවයි වාර්තා වන්නේ.
පුංචි ඔස්ටින්ගේ මෙම ක්‍රියාව අදහාගත නොහැක්කක් බවත් ඔහු සැබවින්ම වීරයෙක් බවත් මේ මොහොතවන විට ලෝකය පුරා කතා බහට ලක් වන්නකි.
ඔස්ට්‍රේලියානු බලධාරින් පවසන්නේ දරුවාගේ ක්‍රියාව අධි මානුෂික ක්‍රියාවක් බවයි.
ඔහුගේ කැපවීම විස්තර කිරීමට වචන සොයා ගන්නවත් බැහැ..
බොහෝ දෙනෙක් පවසන්නේ එලෙසිනි.
