ගර්භණී සමයේදී දරුවාගේ මව විසින් පරිභෝජනය කරන ලද පැස්ටරීකරණය (pasteurized) නොකළ කිරි සමඟ සම්බන්ධ වී ඇති බවට විශ්වාස කෙරෙන ලිස්ටීරියා ආසාදනයකින් අලුත උපන් බිළිඳෙකු මිය යාම නිසා, අමු කිරි නිෂ්පාදන වලින් වළකින්නැයි එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ සෞඛ්‍ය නිලධාරීන් මහජනතාවට අනතුරු අඟවා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ආසාදනයේ නිශ්චිත මූලාශ්‍රය හඳුනා ගැනීමට නොහැකි වුවත් බොහෝ දුරට ‘අමු කිරි’ ඒ සඳහා හේතු විය හැකි බවට සැක පළ කරන බවයි.
ළදරුවාගේ මරණය ගර්භනී කාන්තාවන්, ළදරුවන්, වැඩිහිටියන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට අමු කිරි නිෂ්පාදන ඇති කළ හැකි අවදානම් සහගත බව ඉස්මතු කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
එබැවින් විශේෂයෙන් ගර්භනී මව්වරු බිළිඳු දරුවන්ගේ ආසාදන හා මරණ වැළැක්වීම සඳහා පැස්චරීකරණය කළ කිරි නිෂ්පාදන පමණක් පරිභෝජනය කළ යුතු බව සෞඛ්‍ය අංශ ජනතාව දැනුම්වත් කර තිබෙනවා.
පැස්චරීකරණය (Pasteurization) යනු විෂබීජ විනාශ කිරීම සඳහා අමු කිරි රත් කරන ක්‍රියාවලියකි.
දශක ගණනාවක් තිස්සේ සෞඛ්‍ය විශේෂඥයින් සහ නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේ අමු කිරි පානය කිරීම මෘදු ආසාදනවල සිට දරුණු, ජීවිතයට තර්ජනයක් වන රෝග දක්වා රෝග ඇති කිරීමේ අවදානමක් සහිත බවයි.
