දකුණු කොරියානු සංස්කෘතියට දැඩි ලෙස අබ්බැහි වී සිටි ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ගැහැණු දරුවන් තිදෙනෙකු මහල් නවයක් ඉහළින් බිමට පැනැ සිය දිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීමට හේතුව අධික ලෙස කොරියානු සංස්කෘතියට අබ්බැහි වී සිටි දියණියන් තිදෙනාගේ පියා විසින් ඔවුන් ජංගම දුරකථනයෙන් ඈත් කිරීම බවයි සඳහන් වන්නේ. මෙසේ දිවි තොර කරගෙන ඇත්තේ 12 හැවිරිදි පාකි, 14 හැවිරිදි ප්‍රාචි සහ 16 හැවිරිදි විශිකා යන දියණියන් තිදෙනාය.
ඔවුන් කොරියානු සංස්කෘතියට කෙතරම් ඇලුම් කළේ ද යත් ඔවුන් එකිනෙකාට කොරියානු නම් පවා ලබා ගෙන ඇති බව පැවසෙනවා.
බදාදා අලුයම 2.15 ට පමණ උත්තර් ප්‍රදේශයේ ගාසියාබාද් හි ඔවුන්ගේ නිවස පිහිටි නව වන මහලෙන් ඔවුන් බිමට පැන ඇති බවයි වාර්තා පවසන්නේ. “සමාවෙන්න, තාත්තා” යනුවෙන් අතින් ලියූ සටහනක් තබා ඔවුන් බැල්කනියේ ජනේලයෙන් එකිනෙකා පසු පස එකිනෙකා ලෙස බිමට පැන ඇති බව වාර්තාවල සඳහන් වෙනවා. ඔවුන් බිමට වැටෙන විට කෑ ගැසූ ශබ්ද හා බිමට වැටෙන ශබ්දය පවා අසළ නිවෙස්වලට පවා ඇසුණු බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ. කෙසේ වෙතත් මව්පියන් දෙදෙනාට ශබ්දය ඇසී බලන විට ඔවුන් බිමට පැන අවසාන බව ද සඳහන්ය.
පිටු අටක ඔවුන්ගේ සියදිවි නසා ගැනීමේ සටහන හා දිනපොත්වල සටහන්වල සෑම තැනකම ලියා තිබුණේ කොරියාවට ඇති ආදරයයි.
ඔවුන්ගේ පියා වන චේතන් කුමාර් දියණියන් තිදෙනා අධික ලෙස කොරියානු සංස්කෘතියට අබ්බැහි වී සිටි බව සඳහන් කර තිබෙනවා. ‘කොරියාව තමයි අපේ ජීවිතය’, ‘කොරියාව තමයි අපේ ආදරය’ ඔවුන් නිතර පැවසූ බවයි පියා සඳහන් කර ඇත්තේ. “ඔයා මොනවා කිව්වත් අපිට ඒක අතහරින්න බෑ. ඒ නිසා අපි අපේ ජීවිත නැති කරගන්නවා” යනුවෙන් ද ඔවුන් පවසා තිබෙනවා.
”මේ දේ කිසිම දරුවෙකුට හෝ දෙමව්පියෙකුට වෙන්න එපා’ පියා හඬමින් පවසා තිබුණේ එසේය.
ගැහැණු ළමයින් තිදෙනා K-pop සංස්කෘතියට ගැඹුරින් සම්බන්ධ වී සිටි අතර කොරියානු චිත්‍රපට, සංගීතය, කෙටි චිත්‍රපට, සංදර්ශන සහ කතා මාලාවන් වෙත අබ්බැහි වී සිටි බව ඔවුන්ගේ දිනපොත්වලින් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
