මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට සංශෝධන ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් අද (05) දින පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.
මෙම පනත් කෙටුම් දෙක මඟින් දැනට පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් පුරවැසියන්ගේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ සහ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.
එම යෝජිත පනත් කෙටුම්පත් මෙසේය.
1. විවාහය නොවැළැක්විය හැකි ලෙස බිඳවැටීම මත විවාහය විසිරුවා හැරීමේ පනත: විවාහයක් තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි අවස්ථාවකදී (Irretrievable breakdown) දික්කසාදය ලබා ගැනීමට නීතිමය ඉඩකඩ සැලසීම සහ දෙපාර්ශවයේ එකඟතාව මත දික්කසාද වීමේ ක්‍රියා පටිපාටියක් හඳුන්වා දීම මෙහි අරමුණයි.
2. මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත: අවම විවාහ වයස අවුරුදු 18 ලෙස නියම කිරීම, විවාහ ලේඛනවල මනාලියගේ අත්සන අනිවාර්ය කිරීම, සුදුසුකම් ලත් කාන්තාවන්ට කාසි (Quazi) තනතුරු දැරීමට ඉඩ ලබා දීම සහ අලුතින් පත් කරන කාසිවරුන් නීතිඥවරුන් විය යුතු බවට වන සංශෝධන මෙයට ඇතුළත් වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා විශ්වාසය පළ කර ඇත්තේ මෙම ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාවේ විවාහ නීතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය වනු ඇති බවයි.
