අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවති 2026 ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනුවේ සබීනා යූසුෆ්ය. උපතින් ශ්‍රී ලාංකික හා ඩෙන්මාර්ක් සම්භවයක් සහිත සබීනා ලෝකය ඉදිරියේ ශ්‍රී ලාංකික සුන්දරත්වයේ කැඩපත බවට පත් වෙමින් රටට ලබා දුන් කීර්තිය සුළු පටු එකක් නොවේ.
මෙම ජයග්‍රහණය තම ජීවිතයේ කිසිදා අමතක නොවන අත්දැකීමක් බව සබීනා යූසෙෆ් සඳහන් කර තිබෙනවා. “ජ්‍යාත්‍යන්තර වේදිකාවේ දී මම සබීනා යූසුෆ් පමණක් වුණේ නැහැ. මම නියෝජනය කළේ මිලියන 22ක් වන ශ්‍රී ලාංකිකයන්වයි.”
එය විශාල වගකීමක් මෙන්ම ගෞරවයක් සහ කෘතඥතාවක් දැනෙන මොහොතක් බව ඇය පවසනවා.
අවසන් මහ තරගයේ දී ඇගේ නම ප්‍රකාශයට පත් කළ මොහොතේ හදවතේ ඇති වූ තිගැස්ම පිළිබඳ සඳහන් කරමින් ඇය පවසන්නේ කතා කරන මේ මොහොතේ පවා එම උණුසුම් හැඟීම තමන් තුළ පවතින බවයි.
ඇය මේ බව සඳහන් කළේ ජයග්‍රහණය ලබා නැවත සිය රට බලා පැමිණීමෙන් අනතුරුව පළමුවරට මාධ්‍ය අමතමිනි.
“Sri Lanka” ලෙස තම නම ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ ඇයට දැනුණේ පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ජයග්‍රහණයක් ලබාගත් විට දැනුණු සතුටට සමාන හැඟීමක් බවයි ඇය එහිදී සඳහන් කළේ.
“අපි හැමෝටම ඔටුන්නක් ගන්න පුළුවන්. අපි හැමෝටම ඔටුන්නක් මිලදී ගන්න පුළුවන්. දවසක් අවසන් වන විට කිරුළක් කියන්නේ රාත්‍රිය නියෝජනය කරන සංකේතයක් පමණයි. සෑම කාන්තාවක්ම, සෑම පිරිමියෙක්ම තමන්ට රැජිනක් හා රජෙක්.
ඒත් බොහෝ දෙනා සිතුවේ මම ඇවිත් කිරුළ හොරකම් කළ ගැහැණු ළමයෙක් විතරයි කියලා. ඒක මට හොඳටම මතකයි. ඒ වගේ දේවල් බොහෝ වාරයක්ම සිදු වුණා.”
තරගයට සහභාගී වන විට දුෂ්කර පුහුණු වීම් හා ඇඳුම් පැළඳුම් නිර්මාණය කර ගැනීමේ සිට සියලු දේ ඉටු කරගන්නා අතර තරගයෙන් පරාජය වුවහොත් එල්ල වන විවේචනයන් පිළිබඳව ද ඇය කල්පනා කළ බව සබීනා පවසා තිබෙනවා.
කෙසේ වෙතත් මුළු තරගය පුරා 100%ක් තමන් ලෙසම පැවතීමට හැකි වූ බව ද ඇය පවසනවා.
ජයග්‍රහණය නොලැබීම සම්බන්ධයෙන් බොහෝ අය විවිධ අදහස් ප්‍රකාශ කළ බවත් අවසානයේ සියලු හදවත් ජයග්‍රහණය කිරීමට තමන්ට හැකි වූ බවයි සබීනා පවසන්නේ.
