සමාරම්භක පාකිස්තාන හා නෙදර්ලන්තය අතර SSC පිටියේ තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකටයින්ට අවස්ථාව….
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් අද (07) කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේදී පාකිස්තානය හා නෙදර්ලන්තය තරග වැදීමට නියමිතය.
එම තරගය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් වෙත සම්පූර්ණයෙන් නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව ලබා දී තිබෙනවා.
ඒ සඳහා කොළඹ SSC ක්‍රීඩාංගනයේ ගේට්ටු දෙකක් ප්‍රේක්ෂකයින් වෙත විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති හා 2026 T20 ලෝක කුසලානයේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා පවසනවා.
සෑම කණ්ඩායකටම ජය පරාජය දෙකම උරුම බැවින් යළි ලෝක කුසලානයක් දිනාගැනීමට ශ්‍රී ලංකාවට ආශිර්වාද කරන ලෙසයි ඔහු පවසා ඇත්තේ.
“ලෝක කුසලානය සඳහා සියල්ල සුදානම්. අද සමාරම්භක උත්සවය පැවැත්වෙනවා. එම තරගය වෙනුවෙන් විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක ජනතාව සඳහා ගේට්ටු දෙකක් විවෘත කරලා තියෙනවා. ඒ අයට නොමිලේ ඇවිත් නරඹන්න පුළුවන්. ඒ වගේම ආර් ප්‍රේමදාස හා පල්ලෙකැලේ ක්‍රීඩාංගනත් මේ වන විට සුදානම්.
ලෝක කුසලානය රටකට එනවා කියන්නේ ඒ රටේ ක්‍රීඩාවෙ පිබිදීමක්. පාසල් ක්‍රීඩකයින් ලෝක පූජිත ක්‍රීඩකයින් දිහා බලලා පන්නරයක් ලබනවා. ලෝක කුසලානයක් කියන්නේ රටට ආර්ථිකයටත් විශාල පිබිදීමක්.
ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නෙ සෑම කණ්ඩායමකටම පසුබෑම් තියෙනවා. රටක් හැටියට ලෝක කුසලානයක් ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය සහයෝගය දීලා ඔවුන් වටා එක් රොක් වෙලා පුළුවන් නම් නැවත ලෝක කුසලානයක් ලංකාවට ගේන්න ඔවුන්ට ආශිර්වාද කරන්න’
මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පළමු තරගය අයර්ලන්තය සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (08) පැවැත්වේ.
