මනුවර්ණ ගිහින් එන්න, ගමේ මළ ගෙදරක් වෙලා…

දිට්වා සුළි කුණාටුව රටට සිදු කළ අතිවිශාල හානිය හමුවේ නැගෙන දුක් අඳෝනා විලාප තවමත් වියැකී නොමැති වාතාවරණයක
ගම්පොළ, ගලහ නවහැලිය කිරිබෝගහඉන්න ප්‍රදේශයේ මවක් හා දුවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ සුළි කුණාටුවේදී කඩා වැටුණු අධිබලැති විදුලි රැහැනක ගැටීමෙනි.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි මවක් හා 13 වියැති දියණියකි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන ආකාරයට මේ විපත සිදු වී ඇත්තේ සුළි කුණාටුව අවස්ථාවේ කඩා වැටුණු විදුලි රැහැන් පද්ධතිය මාස දෙකකට අධික කාලයක් පුරා විදුලි බල මණ්ඩලය මගින් යථාවත් නොකිරීම නිසාය.

මියගිය මවගේ වැඩිමහල් දියණිය හා සැමියා පවසා ඇත්තේ අවස්ථා කිහිපයකදීම තම ගෙවත්තේ වැටී ඇති විදුලි කම්බි ඉවත් කරදෙන ලෙස විදුලි බල මණ්ඩලය නිලධාරීන්ට පැවසුවද එය ඔවුන් ඉටු නොකළ බවයි.

මීට දින කිහිපයකට පෙර මේ ස්ථානයේ විදුලි කම්බිවලින් ගින්නක් පවා හටගෙන තිබෙනවා.

අපදාවේදී කඩා වැටුණු විදුලු රැහැන් බිම තිබියදී මොවුන් පැමිණ අවට නිවාස වලට විදුලිය සපයා අනතුරුදායක කම්බි බිම තිබියදීම ඉවත්ව යෑම පිළිබඳව ගම්වාසීන් විදුලිබල මණ්ඩලයට දැඩි විරෝධයක් එල්ල කළ බවද සඳහන් වෙනවා.

මියගිය මව හා දියණිය මෙම අනතුරට මුහුණ දී ඇත්තේ කරපිංචා ගස ළඟට ගොස් දහවල් ආහාරය පිළියෙල කිරීමට කරපිංචා කඩන අවස්ථාවේදීය.

ප්‍රදේශවාසීන් පැමිණ මොවුන් බේරා ගැනීමට උත්සාහ කිරීමේදී විදුලිසර වැටී බිම වැටී සිටි මව ලණුවක් දමා තමා ඉවතට අදින ලෙස පවසා තිබෙනවා.

ඒ වන විටත් ඇගේ දියණිය විදුලි සර වැදී මියගොස් සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

දිට්වා සුළි කුණාටුව කළ ව්‍යසනය හමුවේ තවමත් බොහෝ දෙනෙකු සිටින්නේ කඳවුරුවලය. එසේත් නොමැතිනම් ඥාතී නිවෙස්වල අනාථයන් සේය.

ආණ්ඩුව කියු තරම් ඉක්මණට කිසිවක් සිදුවී නැත. හොද්දට කරපිංචා කඩන්න ගිය මව හා දියණිය පවා මියගොස් ඇත්තේ ලයිට් කම්බි ටික නිසි පරිදි නැවත සකස් කර නොදීම නිසාය.

වැදගත්ම කාරණය වන්නේ මේ ගලහ ප්‍රදේශය යනු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණගේ ගම් පළාත වීමයි.

මනුවර්ණ මියගිය මවගේත් දියණියගේත් අසල්වැසියෙකි.

ගමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටවත් විදුලිබල මණ්ඩලයට කෝල් එකක් දී මේ විදුලි රැහැන් ටික ඉවත් කර දෙන්නට බැරි වෙලාය.

එක්කෝ සිනමා පාසල් හදන්න තියෙන නිසා බිසී වුණු මනුවර්ණ කුණාටුවෙන් පසු මේ පාරවල ඇවිද ගොස් හෝ ගමට ගිහින් නැත.

ඉතින් තවත් එකෙකු දෙන්නෙකු මිය යන්නට පෙර මේ මළගමට ගොස් හෝ තම ප්‍රදේශයේ තත්ත්වය දැක ගැනිමට මෙන්ම මිනිසුන් ජීවත් කිරීමට කරන අරගලය දැක බලාගැනීම මනුවර්ණලාගේ වගකීමකි.

Latest News

error: Content is protected !!