ඉන්දියාව සමඟ ක්‍රීඩා කිරීමට පාකිස්තානය එකඟ වේ.. අවසන් මොහොතේ පකිස්තානය තීරණය වෙනස් කළ හේතුව..

2026 ICC විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පෙබරවාරි 15 දින කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි තරගයට පාකිස්තාන ජාතික කණ්ඩායම සහභාගී වන බව පාකිස්තාන රජය සඳුදා (09) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

භූ දේශපාලනික ආතතිය හමුවේ ලබන 15වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලානයේ ඉන්දියාව සමඟ තරඟය වර්ජනය (boycott) කිරීමට පකිස්තානය තීරණය කර තිබුණා.

එම තීරණය ගනු ලැබුවේ ආරක්ෂාව පිළිබඳ ගැටලු හේතුවෙන් ඉන්දියානු සංචාරය ප්‍රතික්ෂේප කළ බංගලාදේශ රජය ගනු ලැබූ තීරණයකට සහාය පළ කිරීමක් වශයෙනි.

එහි ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය තරගාවලියට එක් කිරීමටද කටයුතු යොදා තිබුණා.

එහෙත් බහුපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රතිඵල සහ මිත්‍ර රටවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, 2026 පෙබරවාරි 15 වනදා පැවැත්වෙන තරගයට පිටියට පිවිසීමට පාකිස්තාන ජාතික කණ්ඩායමට රජය දැනුම් දී ඇති බව X මඟින් නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වෙනවා.

මෙම තීරණය ගැනීමට පෙර ශ්‍රී ලංකාව, එක්සත් අරාබිය ඇතුළු රටවල් කිහිපයක් විසින් පවතින අර්බුදයට විසඳුමක් සොයා ගැනීමට පාකිස්තානයෙන් සහාය ඉල්ලා තිබූ බවයි වාර්තා වන්නේ. බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයද තරගය වර්ජනය කිරීමේ තීරණය ආපසු හරවන ලෙස පාකිස්තානයෙන් ඉල්ලීම් කරනු ලැබුවා.

පාකිස්තානය තරගයෙන් ඉවත් වූයේ නම් ලකුණු 2ක් අහිමි වන අතරලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ වඩාත්ම ආකර්ෂණීය තරගයක් වන ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය නතර වීමෙන් තරගාවලියට ද එය දැවැන්ත පාඩුවීමක් වීමට නියමිතව තිබුණා.

ඉන්දියානු නායක සූර්යකුමාර් යාදව් පසුගිය සතියේ ප්‍රකාශ කළේ, පාකිස්තානයේ තීරණය කුමක් වුවද තම කණ්ඩායම සැලසුම් කළ පරිදි කොළඹට පැමිණෙන බවයි.

මෑත කාලීනව ඉන්දියාව සමඟ පාකිස්තානය හා බංගලාදේශය අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වර්ධනය වූ තත්ත්වය එතරම් යහපත් වුණේ නැහැ. මෙම අභ්‍යන්තර මත ගැටුම් ක්‍රිකට් පිටිය දක්වාම වර්ධනය වූ අතර පාකිස්තානය අවසන් මොහොතේ සිය ස්ථාවරය වෙනස් කරගැනීම නිසා තත්ත්වය යම් දුරකට සමථකට පත් වී තිබෙනවා.

Latest News

error: Content is protected !!