උපාධිධාරි කොන්දොස්තරවරියෝ හා ඉන්දියාවේ ප්‍රාන්තයක් වීමට යන ලංකාව

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුරට බඳවා ගැනීමේ තරගය පැවැත්වුණේ එයට සහභාගී වූ අපේක්ෂකයින් ජමදර්පාලි ගුවන් පථයේ බිම පෝළිමට වාඩි කරවාය.

පුරප්පාඩු 157ක් වැනි කුඩා ප්‍රමාණයක් සඳහා අපේක්ෂ්කයින් 8000ක් පමණ ඉල්ලුම් කර තිබීම ඊට හේතුවයි.

වාර්තා වූ ආකාරයට ඉතා සාමාන්‍ය අධ්‍යාපන මට්ටමක් පමණක් අපේක්ෂා කළ එම තනතුරට ඉල්ලුම් කළ බහුතරය උපාධිධාරීන්ය.

ඒ අතර ඉංජිනේරු උපාධිධාරීන්, තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ගේ සිට විවිධ ක්ෂේත්‍රවල උපාධිධාරීන් ඇතුළත් වූ බව වාර්තා වුණා.

මෙය ශීඝ්‍රයෙන් නැගී එන ආර්ථික බලවතා ලෙස සැලකෙන ඉන්දියාවේ රැකියා විරහිතභාවය පිළිබඳ අඳුරු පැතිකඩක් පෙන්නුම් කළ අවස්ථාවක් ලෙසයි සැලකුණේ.

ඉන්දියාවේ මේ කතන්දරය අපට සිහිපත් වුණේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බඳවා ගත් කාන්තා කොන්දොස්තර සහෝදරියන් අද (10) මාකුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී වැඩ භාරගත් ආකාරය දුටු විටයි.

එම සිදුවීම නිසා ඔවුන් මාධ්‍ය බොහොමයකට සංදර්ශනාත්මක වී තිබුණා.

ඔවුන්ට ගමනාගමන මණ්ඩලයේ නිලධාරියෙකු විසින් ටිකට් කඩන ආකාරය කියා දෙන තැන සිට අධිවේගී මාර්ගයේ බස් රථ තුළ ඔවුන් ටිකට් කඩන ආකාරය, මිනිසුන් බොහෝ දෙනෙකු ඔවුන් දෙස කට ඇරන් බලාගෙන සිටින ආකාරය පිළිබඳ කෙටි චිත්‍රපට ආකාරයේ වීඩියෝ ක්ලිප් මාධ්‍යවල පළ වුණා.

මාධ්‍ය ඔවුන්ගෙන් ලබාගත් වොයිස් කට්වල ඔවුන් ලස්සනට කතා කළ අතර මේ ජොබ් එකට කැමතිදැයි ඇසූ විට එක් සහෝදරියක් අහිංසක සිනහවක් පා කීවේ අවුලක් නැහැ කියාය. ඇයට මයික් එක අල්ලන පුද්ගලයා ඇසුවේ ඒ කියන්නෙ අවුලක් නැත්තෙම නෑ නේද වගේ කතාවකි.

තවත් සහෝදරියක් කීවේ ඇය කුඩා කළ සිටම දොස්තරවරියක් වීමට ආසාවෙන් සිටි බවත් කෙසේ හෝ කොන්දොස්තරවරියක් හෝ වීමට හැකි වීම සතුටින් භාර ගන්නා බවයි. ඇයට සෙටිෆිකේට් හයසීයක් පමණ තියෙන බව ද ඇය කියා සිටියා.

මාධ්‍ය එම වීඩියෝවල සඳහන් කර තිබුණේ ඇතැම් කාන්තා කොන්දොස්තරවරියන් උපාධිධාරීන් බවයි.

රට තුල 45 පනින ලද රැකියා විරහිත උපාධිධාරීන් බර ගාණක් සිටින බවද බොරුවක් නොවේ. ගුරු විභාග ගැසට් කළ පසු 45 ට වැඩි රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා 40 අවම වයස් සීමාව නිසා තමන්ට විභාගය ලියන්නට පවා අවස්ථාව අහිමි වී ඇති බව කියා තිබුණා.

මේ අනුව බලන විට පෙනෙන්නට තියෙන්නෙ ලංකාව ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයක් බවට පත් වේගෙන එමින් පවතින බවයි.

ස්ත්‍රීවාදීන් අනුව කාන්තාවෝ පුරුෂයන්‍ට සමාන විය යුතුය. එහෙත් ඔවුන් කාන්තාවෝ කොන්දොස්තවරියන් වීම හෙළා දැක ඇති ආකාරය ද මේ දිනවල බුකියේ දකින්නට ලැබෙන්නකි. ඒ කොන්දොස්තර වැනි රස්සාවක් නිකන් ගැහැණුන්ට ගැළපෙන්නෙ නැහැ වගේ ඈන්ගල් එකකිනි.

කිසිදු රැකියාවක් කාන්තා හෝ පිරිමි යනුවෙන් වර්ගීකරණය වීම නොවිය යුත්තකි. මුහුදු රස්සාවට යන ගැහැණු ගැන අප අසා තිබෙන අතර කිලෝ ගණන් මලු කරේ තබාගෙන දළු නෙළන්නේ ගැහැණුන්ගේ අත්වලිනි. මේසන් බාස් වැඩ කරන්න, අත් උදව් දෙන්න, ගාමන්ට්වල මැෂින් පාගන්න, ත්‍රීවිල් ඩිමෝ බට්ටා එළවන්න ගැහැණුන්ට පුළුවන් නම් කොන්දොස්තරවරියන් වන්නට බැරි කමක් නැත.

එය මැජික් එකක් නොකර ඔවුන් දිහා අරුම පුදුම වස්තූන් මෙන් නොබලා ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්න දෙනවනම් ඒ හොඳටම ප්‍රමාණවත්ය.

රැකියා විරහිත උපාධිධාරීන් බුරුතු පිටින් සිටිනා රටේ උපාධිධාරිනියන් කොන්දොස්තරවරියන් වෙන එකේද ලොකු ප්‍රශ්නයක් නැත.

නිල ඇඳුමෙද ඇත්තේ අමුතු ගතියකි. රතු පාට නම් දකින අයටත් ඇඳගෙන සිටින අයටත් අපහසු බව ද කිව යුතුය. ඔවුන්ට රතුපාට නිල ඇඳුමක් දී ඇත්තේ මේ ආණ්ඩුව රතුපාටට ඇති ආත්මීය බැඳීම නිසා යැයි ඇතැම් අය කියනවාද ඇසුණි. කෙසේ වුවත් කට්ට දහවලේ බස් ඇතුළේ රතු පාට ඇඳන් ඉන්න එක නම් ප්‍රායෝගික නොවනු ඇත. එවැනි සරල නිල ඇඳුමක් ගුරු සේවයටත්‍ රාජ්‍ය සේවයේ සියලුම කාන්‍තාවගේ පහසුව සඳහා එක් කරන්නේ නම් එයද වටින වැඩක් වනු නිසැකය.

Latest News

error: Content is protected !!