ලොස් ඇන්ජලීස් ජූරි සභාවක් ඉදිරියේ දිග හැරෙන මෙම නඩුව වැදගත් නීතිමය පූර්වාදර්ශයක් විය හැකි බවට අනාවැකි..
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආරම්භ වූ විශාල නඩු විභාගයකදී Meta සමාගමට අයත් Instagram සහ Google සමාගමට අයත් YouTube වේදිකා ළමුන්ට අධික ලෙස අබ්බැහිවීම සඳහා හිතාමතාම නිර්මාණය කළ බවට චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.
මෙම නඩුවේදී පැමිණිල්ල පාර්ශවය සඳහන් කර ඇත්තේ මෙම සමාජ මාධ්‍ය වේදිකා “ළමුන්ගේ මොළය ඇබ්බැහි කරවන ලෙස” පද්ධති හා විශේෂාංග නිර්මාණය කර ඇති බවයි. නඩු විභාගයේදී පැමිණිල්ල නියෝජනය කරන නීතිඥවරයා පවසා ඇත්තේ අසීමිත scroll කිරීම, algorithm මගින් නිරන්තරයෙන් අන්තර්ගතය පෙන්වීම සහ “likes” වැනි විශේෂාංග යොදා ගනිමින් පරිශීලකයන් දිගින් දිගටම වේදිකාවට ඇද බැඳ තබා ගැනීම මෙහි අරමුණ වී ඇති බවයි.
මෙම නඩුව ගොනු කර තිබෙන්නේ වයස අවුරුදු 20ක් වන තරුණියකි. ඇය කුඩා වියේ සිට YouTube සහ Instagram භාවිතා කිරීම නිසා මානසික ගැටලුවලට මුහුණ දුන් බවට චෝදනා කර තිබෙනවා.
ලොස් ඇන්ජලීස් ජූරි සභාවක් ඉදිරියේ දිග හැරෙන මෙම නඩුව, එක්සත් ජනපදය පුරා ඇති සමාන නඩු සිය ගණනක් සඳහා වැදගත් නීතිමය පූර්වාදර්ශයක් විය හැකි බවට අනුමාන කෙරෙනවා.
කෙසේ වෙතත් Meta සහ Google සමාගම් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සමාජ මාධ්‍ය භාවිතය හා සම්බන්ධ මානසික ගැටලු සඳහා වෙනත් ජීවන තත්ත්වයන් ද බලපාන බවයි පෙන්වා දී ඇත්තේ. එමෙන්ම තම සේවාවන් පරිශීලකයන්ට සිය අභිරුචි අනුව පාලනය කළ හැකි බවත් ඔවුන් පවසා තිබෙනවා.
මෙම නඩුව සති කිහිපයක් පුරා පැවැත්වීමට නියමිත අතර එය සමාජ මාධ්‍ය සමාගම් ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම දරන්නේ කෙසේද යන්න පිළිබඳ අනාගත නීතිමය තීරණයන්ටද බලපෑම් කළ හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
