2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත තරගය සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (PCB) ගත් තීරණ කිහිප වරක් වෙනස් කිරීම හේතුවෙන් ඉන්දියානු ක්‍රිකට් රසිකයන්ට වැඩි වියදම් දැරීමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
මුලදී මෙම තරගයට සහභාගී වීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදකාරී වාතාවරණය හේතුවෙන් තරගය පැවැත්වේද යන්න පිළිබඳ පැවතුණේ අවිනිශ්චිතතාවයකි.
කෙසේ වෙතත් පසුව පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් තීරණය වෙනස් කරමින් තරගයට සහභාගී වීමට එකඟ වීමත් සමඟ තරගය නැරඹීමට සැලසුම් කළ රසිකයන් අතර හදිසි ඉල්ලුමක් ඇතිවීමෙන් ගුවන් ටිකට්පත් සහ නවාතැන් ගාස්තු දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව එම වාර්තාවල දැක්වෙනවා.
විශේෂයෙන්ම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගමන් කරන ගුවන් ගමන් සඳහා ගාස්තු කෙටි කාලයක් තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ. තරගය සම්බන්ධ අවසන් තීරණය ප්‍රකාශ කිරීමෙන් පසු ප්‍රේක්ෂකයින්ට අමතා වියදමක් දැරීමට සිදුව ඇති බව පැවසෙනවා.
ඉන්දියාව හා පාකිස්ථානය අතර තරගය ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ වැඩිම අවධානයට ලක්වන තරගයක් වන අතර එය අවලංගු වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) විශාල ආදායම් අලාභයක් සිදුවිය හැකි බවද වාර්තා වෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් තරග සංවිධානය සහ තීරණ ගැනීමේ ස්ථාවරත්වය පිළිබඳවද ක්‍රිකට් රසිකයන් අතර ද බරපතල විවේචන මතුව තිබෙනවා.
