ඩුබායිවල සැඟවූ රාජපක්ෂ මුදල් ගැනත් පරීක්ෂණ යනවා..
උගන්ඩාව, ඩුබායි ඇතුළු තවත් ස්ථාන කිහිපයක සඟවා ඇති රාජපක්ෂ පවුලේ ධනය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් රජය පරීක්ෂණ පවත්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබෙනවා.
උගන්ඩාවේ සඟවා තිබූ මුදල්, බටලන්ද චෝදනා ඇතුළු මැතිවරණ සමයේ ජාතික ජන බලවේගය සිදුකළ වංචා දූෂණ සම්බන්ධයෙන් රජය විමර්ශනය කරන්නේ දැයි ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
“උගන්ඩාව ගැන නිතරම කතා කරන්න එපා. ඩුබායි සහ තවත් සමහර ස්ථානවල සඟවා ඇති ධනය ගැන රජය පරීක්ෂණ අරඹා තිබෙනවා. එහෙත් නාමල් ඩුබායිවල තියෙන මුදල් ගෙන ඒම සම්බන්ධයෙන් අපට අභියෝග කරන්නේ නැහැ. ඔහු උගන්ඩාව ගැන විතරක් කතාකරනවා.”
අමාත්‍යවරයා පැවසුවේ බටලන්ද සහ උගන්ඩාව හැර තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එම චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට සහ අල්ලස් කොමිසමට කැඳවන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.
ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් කර නඩු පවරන අතර තවත් සමහර නඩුවලට අධිචෝදනා ගොනුකර ඇතැම් නඩුවලට දින නියම කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් සාක්ෂි විනාශ කිරීම, විමර්ශන නිලධාරීන් ස්ථාන මාරුවීම් හෝ රටින් පිටවීමට බල කිරීම හේතුවෙන් පරීක්ෂණ ප්‍රමාද වී ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ සාක්‍ෂි විනාශ කළත් රජය අත් නොහරින බවත්, පරීක්‍ෂණ නිලධාරීන් වෙනත් ක්‍රමවලින් සාක්‍ෂි රැස් කරන බවත්ය.
