දේශපාලනික අරමුණු මත පදනම් වූ පාලනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය බිඳ වැටෙමින් පවතින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සිය කණස්සල්ල පළ කර තිබෙනවා.
විශේෂයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාරයක් සඳහා අරමුදල් අනුමත කිරීමේ සිද්ධියකට අදාළව ජනාධිපති ලේකම් සමන් ඒකනායක රක්ෂිත බන්ධනාගාරගත කිරීම විවේචනය කරමින් ඇය පවසන්නේ තෝරාගත් පුද්ගලයින්ට පමණක් යුක්තිය ඉෂ්ඨ කරන බව පෙනෙන්නට ඇති බවයි.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ, pulseline වෙබ් අඩවියේ පලකර තිබු Vox Civis විසින් රචිත Power, pretense, and the punishment of integrity ලිපිය සිය නිල ෆේස්බුක් ගිණුමේ උපුටා දක්වමිනි.
තමා සමන් ඒකනායකව පෞද්ගලිකව හඳුනන බවත් ඔහු ඉතා අවංක සහ ඉහළ වෘත්තීය මට්ටමක රාජ්‍ය නිලධාරියෙකු බවත් ඇය එහි සඳහන් කර තිබෙනවා.
මේ බව සඳහන් කරමින් ඇය පෙන්වා දෙන්නේ යුක්තිය පසිඳලීම තෝරාගත් පිරිසකට පමණක් සීමා වීම රටේ පාලන පද්ධතියට බරපතළ තර්ජනයක් බවයි.
වත්මන් රජය රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින්, සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂයේ හිතවතුන් ඒ සඳහා පත් කරමින් සිටින බවටද හිටපු ජනාධිපතිනිය චෝදනා කර තිබෙනවා.
“වෘත්තීය මට්ටමේ, කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ඉදිරියට යා නොහැකියි. දේශපාලන නායකයන්ට පරිපාලන පළපුරුද්දක් නොතිබුණද, ඔවුන්ට නොසැලෙන අවංකභාවයක් තිබිය යුතු අතර රට පාලනය කිරීමේදී වෘත්තීය මට්ටමේ නිලධාරීන් මත විශ්වාසය තැබිය යුතුයි.” යනුවෙන් ඇය සඳහන් කර තිබෙනවා.
