අරගලයේ අපරාධකරුවෝ පෝරකයට.. මහා මොළකරුවෝ නිදහස්

12 දෙනෙකුට මරණ දණ්ඩනය නියම වුණු ඓතිහාසික නඩු තීන්දුවක් ඊයේ (11) ප්‍රකාශයට පත් වුණා.

මෙය ලංකා ඉතිහාසේ තීරණාත්මක නඩු තීන්දුවක්. හරිනම් මිලියන ගාණක් මිනිස්සු මෙහි විත්තිකරුවන් වීමට තිබුණු නඩුවක්.

අසංවිධානාත්මකව සාමකාමී ආකාරයෙන් පටන්ගෙන සංවිධානාත්මකව ප්‍රචණ්ඩකාරී අරගලයක් දක්වා මෙහෙයවුණු අරගලයේ සිදුවුණු දරුණුම අපරාධය තමයි මහ මඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පොලුවලින් ගහලා මරාදාපු එක. ගෙවල් ගිනි තැබීම්, පහරදීම්, කුඩු කිරීම්, බේරේ වැවේ ගිල්ලවීම ඇතුළු සියලු දේ අවසානයේ සිදුවුණු දරුණුම අපරාධය විදියටත් හඳුන්වන්න පුළුවන්.

විශාල මිනිස් ප්‍රවාහයක් එක් වීමේ ප්‍රතිඵලයක් විදියට සිද්ධ වුණු මහා අපරාධයක වගකීම පොලු අතටගත් 12කගේ පමණක් පිටින් යාම කොහොමද අර්ථකථනය කරන්නේ. අවසානයේ තීන්දුව ලැබෙන්නෙ බෙදුණු නඩු තීන්දුවක් විදියට. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් මඟින් කෙරුණු මෙම තීන්දුව දුන් විනිසුරු මඬුල්ලේ ප්‍රධාන විනිසුරුවරයා සියලු දෙනා නිදොස් කොට නිදහස් කළ යුතු බවයි තීරණය කරල තිබුණේ.

2022 ගෝල්ෆේස් පිට්ටනියට ඇවිත් ෆේස්බුක් ලයිව් ආව රැට්ටාගේ ඉඳලා, අම්මේ මං ගෙදර නාවොත් අයියලා මල්ලිලා අම්මා බලාගනී කියලා ෆේස්බුක් පෝස්ට් හැදුව ඩිලාන්ගේ ඉඳලා, ඊට පස්සෙ කැමරා අටවගෙන ගෝල්ෆෙස් ඉස්සරහට එළි බැස්ස තරිඳු උඩුවරගෙදරලාගේ ඉඳලා මාතෘභූමිය බේරගන්න වරෙල්ලා කියලා කෑගැහුව හැම එකාම, උද්දාමයෙන් කවි ගීත ලිව්ව උන්ද ඇතුළුව ඒවා ෂෙයාර් කරපු හැම කෙනාම, පස්සෙ අරගලය හයිජැක් කරපු දේශපාලන නායකයින් සියලු දෙනාම හරි නම් ඉන්න තිබුණේ ඊයේ උසාවියේ විත්තිකාර කූඩුවේ. අරලිය ගහ මන්දිරයට මිනිස්සු ගෙනැල්ලා ගෝල්ෆේස් එක දිහාට උසිගන්වපු අයත් එහි ඉන්න තිබුණා.

පාර්ලිමේන්තුව ගිනිතියපල්ලා කියලා පාර්ලිමේන්තුව දිහාවට අරගලය මෙහෙයවපු ලාල්කාන්තලා ඊයේ කොහේ හිටියද කියන්න දන්නෙ නෑ.

හැබැයි රැට්ටලා, ඩිලාන්ලා ඇවිත් ෆේස්බුක් ලයිව් දුන්නෙ නෑ. නීතිපති එළවන්න එලියට බැස්ස තරිඳුලා හිටියෙත් නැහැ. ඒ වෙනුවට දැන් ඔවුන් කරන්නෙ බුකියේ කඳුළු සැලීම. අන්තිම මොහොතේ තීන්දුවෙන් පස්සෙ ඔවුන් වෙනුවෙන් වැළපෙන්න, කදුළු සලන්න, සිහි නැතිවෙලා වැටෙන්න ඉතුරුවුණේ ගෙදර උන් හතර පහක් විතරයි.

ඒ සිහි නැතිවුණ මිනිස්සුන්‍ට වතුර උගුරක් පොවන්න ලක් අම්මා ආවේ නෑ.

ඇත්තටම මෙතන තියෙන ඛේදවාචකය තමයි අරගලය කියලා ඇතිවුණ අනපේක්ෂිත සිදුවීම් දාමයේ ගොදුරු බවට පත් වූ පැත්තකම සිටි කොටසක් මෙහි වැරදිකරුවන් බවට පත් වුණ එක. මේ වන කොට අරගලයෙන් බිහි වුණු ආණ්ඩුවේ භාරතලා වගේ අපුල්ලන්නන්ට අනුව මේ මරණ දණ්ඩනය නියම වෙලා තියෙන ඔක්කොම IRC කාරයෝ, පොලිසියෙන් සොයමින් සිටිය අය, නැතිනම් හැඳුනුම්පත නැතිවෙලා නිසා හරි පොලිසි ගිය අය, කොටින්ම කියනව නම් චාටර් මිනිස්සු. නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහල කියන විදියට මේ අය ජාතික ජන බලවේගයේ මිනිස්සු නෙවෙයි, මේ පොහොට්ටුවේ සජබ හෝ යූ ඇන්පී කාරයොලු. එතැන ඉන්නෙ දරුණුම අපරාධකාරයෙක් වුණත් මිනිහෙක් මරන්න චේතනාවකින් ඒ වෙලාවෙ හිටිය අය නෙවෙයි මේ.

මේ කියන අරගලය වෙලාවේ එයට අනේක විවරණ දෙමින් යූ ටියුබ් එකෙන් වැඩිම සල්ලි හොයපු භාරතලාවගේ මිනිස්සුන්ටවත් අරගලය නිසා අද ඇමති පුටුවල ඉන්න චතුරංගලාගෙ හෘදසාක්ෂිය වැඩ කරන විදිය හිතාගන්නවත් බැහැ.

වරෙල්ලා කියලා ෆේඅබුක් ලයිව් දෙනකොට දුවගෙන ආවේ මේ රටේ හෘද සාක්ෂියක් තියෙන ඔක්කොම මිනිස්සු නෙවෙයිද? ඒ වෙලාවේ රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කරපු ඔක්කොම මිනිස්සු ගෙවල්වලින් එළියට බැස්සා. ඒ බැහැපු මිනිස්සු අතරේ උගත් බුද්ධිමත් මිනිස්සු වගේම නූගත්, ඉස්කෝලෙ නොගිය මින්ස්සු, භාරතලාගෙ භාෂාවෙන් IRCකාරයොත් හිටියා. පොලු ගත්තේ, කම්බි කටු ගත්තේ, ගිනි කූර අතට ගත්‍තේ ඒ ඒ බුද්ධි මට්ටම්වල පරාසය අනුව.

රැට්ටලා, ඩිලාන්ලා, තරිඳුලා ලයිව් අරන් අනේ කරුණාකරලා උගත් බුද්ධිමත් උන් ටික විතරක් වරෙල්ලා කියල නෙවෙයිනේ කිව්වෙ. ඔක්කොම වරෙල්ලා කියලනේ කිව්වෙ. එහෙම කිව්වම දුවගෙන එන මිනිස්සු අතරෙ හැම ජාතියෙම උන් ඉන්නවා තමයිනේ. පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් කියල ජාතියක් ඉන්නවා. මේ වගේ අපරාධවලට පාරකපපු මහා මොළකාරයෝ කවුද?

චතුරංග, ඔයාලගේ පක්ෂ අද ආණ්ඩු කරන්නෙ,ලොක්කා ජනපති පුටුවෙ වාඩිවෙලා ඉන්නේ ජවිපෙ ඡන්දවලින් විතරයි කියලද ඔයා හිතාගෙන ඉන්නේ. 68ලක්ෂයක් ඡන්ද ඇතුළෙත් වැඩිපුරම ඉන්නෙ පොහොට්ටුකාරයෝ යූ ඇන්පී කාරයෝ නෙවෙයිද?

විශාල මනුස්ස ජන රාශියක ප්‍රතිඵලයක් විදියට ඇතිවුණ ක්‍රියාදාමයකට පස්සෙ මිනිස්සු 12ක් පෝරකයට යාම කියන්නේ අනාගතයට පූර්වාදර්ශයක් වෙන නඩු තීන්දුවක් පමණක් නෙවෙයි, සමාජ මාධ්‍ය බලපෑම, අපි Whistle Bowlers, Influencers ලා කියලා හිතන් ඉන්න මිනිස්සු අපිව පාවිච්චි කරන ආකාරය පිළිබඳව තේරුම් ගන්නත් හොඳම පූර්වදාර්ශයක්.

88-89 තරුණ ජීවිත දහස් ගාණක් නැතිවුණේ අරගලය නිසා. 12 දෙනෙක් පෝරකයට නියම වෙන්නෙත් අරගලයක් නිසා. ඒ අරගලවල නායකයෝ අද ඉන්න දිහා පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න.

Latest News

error: Content is protected !!