පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර වැලන්ටයින් දිනයේ මල් අලෙවිය පහළ ගොස් ඇති බව කොළඹ ටවුන්හෝල් ප්‍රදේශයේ පූජ්‍ය බද්දේගම විමලවංස මාවත අසල මල් වෙළඳසැල් හිමියන් අනාවරණය කර තිබෙනවා.
රෝස මල්වල මිල අධික ලෙස ඉහළ යාම හා පාරිභෝගිකයන් තමන්ගේ වැය සීමා කිරීමට තීරණය කර තිබීම ඊට ප්‍රධාන හේතුව බවයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ.
විශේෂයෙන් ආර්ථික අපහසුතා හේතුවෙන් බොහෝ දෙනා අත්‍යවශ්‍ය නොවන වියදම් අවම කර තිබීම හේතුවෙන් රෝස මල් මිලදී ගැනීමේ ප්‍රමාණය ද අඩුවී තිබෙනවා.
සාමාන්‍යයෙන් මල් වෙළඳාම සඳහා ශක්තිමත් මාසය වන්නේ පෙබරවාරි මාසයයි. එහෙත් මෙවර පෙබරවාරියට වඩා ජනවාරි හා දෙසැම්බර් මාසවල අලෙවිය හොඳ මට්ටමක පැවති බව මල් වෙළඳසැල් හිමියන් පවසනවා.
වෙළඳුන් පවසන්නේ, ආනයන බදු සහ පිරිවැය ඉහළ යාම හේතුවෙන් මල් මිල ඉහළ ගොස් ඇති බවයි.
සාමාන්‍ය දිනවල ඔතා සකස් කළ රතු රෝස මලක් අලෙවි වන්නේ රුපියල් 350ක් වැනි මිලකටයි. එහෙත් වැලන්ටයින් දිනයේදී එය තවත් ඉහළ යන බව සඳහන් වෙනවා. රතු රෝස මල් වලින් සැදූ මල් කළඹක් රුපියල් 2500 සිට 3000 දක්වා මිලකට අලෙවි වන අතර මල් ප්‍රමාණය සහ අලංකරණය අනුව මිල වෙනස් වෙනස් වන බව ද ඔවුන් පවසා තිබෙනවා.
පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා සමහර වෙළඳසැල් වට්ටම් සහ ප්‍රවර්ධන වැඩසටහන්ද හඳුන්වා දී ඇතත් බොහෝ දෙනා මිල පරීක්ෂා කරමින් පමණක් පිටව යන බවටයි වෙළඳුන් මැසිවිලි නඟන්නේ.
නුවරඑළිය සහ බදුල්ල ප්‍රදේශවල මල් වගා අස්වැන්න අඩුවීම හේතුවෙන් සැපයුමට ද බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් මෙවර ඉන්දියාවෙන් මල් ආනයනය කිරීමට සිදුව ඇති බව ද වෙළඳුන් පවසා තිබෙනවා. මිල අඩු කිරීම සඳහා මල් ආනයන බදු අඩු කරන ලෙස ද වෙළඳුන් රජයෙන් ඉල්ලා තිබෙනවා.
පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මිල තරමක් පහළ ගොස් ඇති බවද සඳහන්ය. 2023 දී රතු රෝස මලක් රුපියල් 600ක් පමණ වූ අතර 2024 දී එය රුපියල් 300ක් පමණ දක්වා පහළ ගොස් තිබුණා.
මේ අතර, විශාල ඔන්ලයින් මල් වෙළඳ ආයතන උසස් පාරිභෝගික පිරිස ඉලක්ක කරමින් විශේෂ පැකේජ හඳුන්වා දී ඇති ආකාරයද දැකගත හැකියි. Lassana Flora ආයතනය විසින් හඳුන්වා දී ඇති ‘Grand Valentine Giant’ මල්දමක් රුපියල් 75,650ක් ලෙස මිල නියම කර ඇති අතර රතු රෝස 100ක මල්දමක් රුපියල් 51,250ක් ලෙස මිල සටහන් වී තිබෙනවා. තනි රෝස මලක් රුපියල් 950ක් ලෙසයි එහි මිල සඳහන් වන්නේ.
එසේම Kapruka ආයතනයද රෝස මල්, චොකලට් සහ කේක් ඇතුළු වලන්ටයින් තෑගි විවිධ ආකාරයෙන් දිවයින පුරා බෙදාහැරීමේ සේවා සමඟ ලබා දෙන අතර රෝස 120ක මල්දමක් වට්ටම් යටතේ රුපියල් 58,320ක් ලෙස මිල නියම කර තිබෙනවා.
