අතීතයේදී බොහෝ දෙනෙක් කැමැත්තක් දැක්වූයේ රැකියාවක නිරත වීමට වුණත් අද වනවිට අපේ තරුණ පරම්පරාව අතර පවතින්නෙ ඊට වඩා වෙනස් ආකල්පයක්. ඔවුන් නිතරම බලන්නෙ ස්වාධීනව ජීවත් වෙන්න. ඒ නිසා තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් උපරිම ලෙසින් දියුණු කර ගත්තත් බොහෝ තරුණ තරුණියන් තමන්ගේ ස්ව ශක්තියෙන් නිර්මාණශීලී ව්‍යාපාරයන් වෙත යොමු වීමට අදහස් කරනවා.
පාදුක්ක පදිංචි කැලූම් රන්දික ඒ කාණ්ඩයට ඇතුළත් වෙමින් අලූත් දෙයක් අලූත් ඇසකින් බලන්න යොමු වුණ තරුණයෙක්. අද වන විට ‘‘ගැමියා”” සන්නාමයෙන් කෘෂි ව්‍යාපාර ආයතනයක් පවත්වා ගෙන ඔහුගේ කතාව ඔහුගෙන්ම අසා දැන ගනිමු.
මම පාසල් අධ්‍යාපනයෙන් පසුව පරිගණක තාක්ෂණය පිළිබඳ උපාධිය ලබා ගෙන විවිධ රැකියාවන්වල නිරත වුණා. මගේ ජීවිතය යම් රාමුවකට කොටු වුණා වගේ හැඟීමක් මට නිතරම දැණුනා. මම ගොවිතැනට බොහොම ඇලූම් කළා. ඒ වගේම මට හිතුන එක් දෙයක් තිබුණා. අපේ කෘෂිකර්මය නිතරම එකම තැනක රැඳී තිබුණා මිස නවීකරණය වුණේ නැහැ කියලා. අපි දන්නා කාලයේ පටන්ම භාවිත වුණ ගොවිතැන් ක‍්‍රම වෙනස් වුණේ නැහැ. මම ජීවත්වුණ වටරැක, පාදුක්ක කෘෂිකර්මාන්තයට නැඹුරු ප‍්‍රදේශයක් නිසා මේ බව මට හොඳින්ම තේරුම් ගියා.
මගේ නමින් යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා
මම පරිගණක ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් කළත් ගොවිතැන ගැන යම් දැනුමක් තිබුණා. ඒ නිසා මගේ යූ ටියුබ් චැනල් එක K.R Group නමින් 2008 දී මම පටන් ගත්තා. ඒ ඔස්සේ ගොවිතැන ගැන අදහස් හුවමාරු කරගත්තා.
කොවිඞ් කාලයේ වැඩි පිරිසක් සම්බන්ධ වුණා
කොවිඞ් කාලයේ අපි හැම දෙනාම හුදෙකලා වුණා. ගෙවල්වලට කොටු වුණා. ඒ නිසා බොහෝ දෙනෙකුට වෙනදා නැති විවේකයක් ලැබුණා. ඒ වගේම වෙනදා නැති විදිහට ගෙවතු වගාවට බොහෝ දෙනෙකුගේ උනන්දුව ඇති වුණා. අඩුම වශයෙන් තමන්ගේ ගෙවත්තේ මිරිස් පැළයක්, කහ පැළයක් හෝ වගා කර ගන්න ඕන කියන මානසිකත්වය ඇති වුණා.
දැනුම පිළිබඳ ගැටලූවක්
වගාවට ඇල්ම තිබුණත් ඒ ගැනත් යම් දැනුමක් අවශ්‍යයි. වගාවක් කරගෙන යන විට විවිධ ගැටලූ ඇති වෙනවා. ඒ වගේ අවස්ථාවලදී බොහෝ දෙනෙකුට වගාව ගැන තිබෙන උනන්දුව නැති වෙනවා. ඒ කාලයේ රට වහලා තිබුණ නිසා කෘෂිකර්මාන්තය පිළිබඳව බිම් මට්ටමින් උපදෙස් ගන්න අවස්ථාවන් පවා තිබුණේ නැහැ.ඉතින් මම ගොවිතැනට සම්බන්ධ තොරතුරු මගේ යූ ටියුබ් චැනල් එක ඔස්සේ හුවමාරු කරන්න පටන් ගත්තා පැළයක් වගා කරන්නේ කොහොමද? සාත්තු කරන්නේ කොහොමද? මේ වගේ කරුණු මගෙන් අහන්න ගත්තා.
ඒ විතරක් නොවෙයි, රටම අගුලූ දැමූ කොවිඞ් කාලයේ ගොවිතැන් කටයුතුවල නියුතු ගොවි මහතුන්ට ඒ වෙනුවෙන් අවසර තිබුණා. ඒ හින්දා බොහෝ දෙනෙක් අතහැර දමා තිබුණ ඉඩම් වලින් ප‍්‍රයෝජන ගන්න හිතුවා.
අපේ ඇස් අරින්න ඕන
අපේ රටේ වියළි දණ්ඩක් වුණත් පැළ වෙනවා. ඒක ඇත්ත නමුත් අපි ඒ අභිමානය ගැන හිත හිතා හිටියට දියුණු වෙන්න බැහැ. අපි ඇස් ඇරලා ලෝකය දිහා බලන්න ඕන. ඊශ‍්‍රායලය වැනි රටවල් අද කෘෂිකර්මාන්තයේ ඉහළින්ම ඉන්නවා. ඒ වගේම කාන්තාර කලාපයක් වුණ මැද පෙරදිග අලංකාර මල් වතු තියෙනවා.
දේශගුණික හා කාලගුණික සාධක මත පමණක් ඔවුන් රැඳිලා නැහැ. නව තාක්ෂණය සමග ඔවුන් පරිසරය වෙනස් කර ගෙන ඉදිරියට යනවා. ඒත් අපි තවමත් යල සහ මහ කන්න මත රැදිලා වැස්ස අව්ව දිහා බලා ඉන්නවා. ඉතින් මේ මානසිකත්වයෙන් ටිකක් වෙනස් වීමට අවශ්‍ය කාලය දැන් ඇවිත් කියලා මම හිතනවා.
විදේශ රටකට ගියත් මම බලන්නේ වගාවක්…
අපි හැම දෙනෙක්ම වගේ දැන් විදේශ රටවල සංචාරයන්හි යෙදෙනවා. නමුත් අපි කිසිම දිනක ඒ ඒ රටවල තිබෙන ගොවිතැන් ගැන භාවිත ක‍්‍රම ගැන විමසිල්ලෙන් බලන්නේ නැහැ. මතුපිටින් බලලා ලස්සනයි කිව්වට ඒ ලස්සන, සාරවත් බව ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි හොයන්නේ නැහැ.
ඒ තරමටම අපි උදාසීනයි කිව්වට කවුරුත් තරහ වෙන්න එපා. නමුත් අලූත් වගා ක‍්‍රමයක් ගැන අලූත් බෝගයක් දැක්කම අපට ඒ ගැන තොරතුරු අහන්න පුළුවන්. අපි එහෙම අහනවා නම් විදේශ රටවල්වල අය අපට ඒ ගැන කියා දෙන්න හරිම කැමතියි. නමුත් අපි අහන්නේ නැහැ. සමහර විට බයද එහෙම නැත්නම් ලැජ්ජාවද දන්නේ නැහැ.
විදේශ රටවල දුටු දේවලූත් සම්බන්ධ කර ගත්තෙ…
විදේශ රටවල සංචාරයන්හිදී මම සාර්ථක වගා ක‍්‍රම දැක්කා. පොලිටනල් වගේම නිර්පාංශු වගාවන් ඉතා සාර්ථකව යොදා ගැනීමට පුළුවන්. ගෙවත්තක වුණත් පොලිටනල් වගාවක් කර ගැනීමට බාධාවක් නැහැ.
පොලිටනල් ක‍්‍රමයේ වාසි
කාලගුණ සාධක පාලනය කරන්න පුළුවන්. විශේෂයෙන් අව්ව වැස්ස සුළං
පළිබෝධ නාශක යොදන්න අවශ්‍ය නැහැ. ආවරණ නිසා කෘමි සතුන්ගෙන් හානි පැමිණෙන්නේ නැහැ.
අස්වැන්න අපතේ යෑමක් නැහැ.
අස්වැන්න වෙනුවෙන් ඉහල මිලක් ලැබෙනවා.
හැම කෙනෙකුටම පොලිටනල් ගෘහ ආරම්භ කරන්න බැහැ
සමහර විට පොලිටනල් වගාවට කැමති කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් ඔවුන්ට මේ වෙනුවෙන් අවශ්‍ය දැනුම නැති වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවන්හිදී අපේ ”ගැමියා” ආයතනයෙන් අවශ්‍ය කටයුතු සලසා දෙනවා. කාට හෝ ඉඩමක් තිබෙනවා නම්, පොලිටනල් ගෘහයක් ආරම්භ කිරීමට කැමැත්තක් තිබෙනවා නම් උදව් කරන්න අපි සූදානම්. ඔවුන් ඉඩම සකස් කර ගන්න ඕන. එතැනි පටන් පොලිටනල් ගෘහය නිර්මාණය කිරීම අපි කර දෙනවා.
පොලිටනල් ගෘහයක් ආරම්භ කරන්න සල්ලි අවශ්‍යයි
සාමාන්‍යයෙන් පොලිටනල් ගෘහයක් ආරම්භ කරන්න කිසියම් ආයෝජනයක් අවශ්‍යයි. ගෘහය ඉදි කිරීමට අපි මුදලක් අය කරනවා. නමුත් මේ වැය කරන මුදල හොඳ ආයෝජනයක්. පොලිටනල් ගෘහ ඇතුළත සලාද, බෙල් පෙපර්, බ්‍රොකෝලි, මාළු මිරිස්, තක්කාලි වගේ වගාවන් සාර්ථකව කරන්න පුළුවන්. මේ වගාව කරන විට අවශය උපදෙස් වගේම පොහොර අපි ලබා දෙනවා. තායිලන්ත මිරිස් ප‍්‍රභේද වැනි වැඩි දියුණු කරන ලද බිජ වර්ග ලබා දෙනවා.
ඒ වගේ පසුවිපරම් අපෙන් සිදු වෙනවා. දැනට කොළඹ, අනුරාධපුරය, මහනුවර වගේ ප‍්‍රදේශවල පොලිටනල් ගෘහ ආරම්භ කර තිබෙනවා.මේ වගා අස්වැන්නට හොඳ ඉල්ලූමක් තිබෙනවා. දැනට මේ ගෘහවල ලබා ගත් අස්වැන්න වෙනුවෙන් සුපිර් මාර්කට් වලින් හොඳ ඉල්ලූමක් තිබෙනවා. අපේ උපදෙස් අරගෙන පොලිටනල් වගා කරන අයට අස්වැන්න අලෙවි කර ගැනීමට පහසුකම් නැත්නම් අස්වැන්නට වෙළඳපොළ ලබා දෙන්නත් ”ගැමියා” ආයතනය සූදානම්.
පොඩි ඉඩකත් නිර්පාංශු
පස් නැති හෙවත් නිර්පාංශු වගාව පොඩි ඉඩකත් ආරම්භ කරන්න පුළුවන්. තායිලන්තයේ තට්ටු 40 ක ගොඩනැගිලිවල නිර්පාංශු වගාවන් තිබෙනවා. ජලසම්පාදනය පහසුයි. ජල නල දිගේ වතුර යවන නිසා වැඩි වශයෙන් ජලය අවශ්‍ය නැහැ. මේ සඳහා අවශ්‍ය දියර පොහොරත් අපි ලබා දෙනවා. මූලික අදියර වෙනුවෙන් යම් පිරිවැයක් දරන්න වෙනවා. නමුත් නිර්පාංශු වගාවත් පරිසර සාධක පාලනය කරන නිසා හොඳ අස්වැන්නක් ලබා ගන්න හැකියාවක් තිබෙනවා.
Green bag ගැනත් වචනයක්
දැන් ඉඩම් කියන සම්පත අපට සීමා වෙලා සම්පූර්ණ නිවසම පර්චස් දහයකට කොටු වෙලා. ඒ නිසා ගෙවත්තක් ගැන හිතන්නත් බැහැ. නමුත් තට්ටු නිවාසවල වුණත් වගාවන් කර ගත හැකි ”Green bag” පහසුකම් අපෙන් ලැබෙනවා. එහි විශේෂත්වය මල්ලක වගා කරන්න පුළුවන් වීම. කොටින්ම මල්පෝච්චියක පැළයක් සිටවනවා වගෙයි. පස් අවශ්‍ය නැහැ.
කොම්පෝස්ට්, කොහු බත් සහිත රෝපණ මාධ්‍යයක් ඇතුළේ තියෙනවා. මල්ල පිටත සුදු පාටයි. ඇතුළත කළු පාටයි. පාරජම්බුල කිරණ මූල පද්ධතියට උරා ගන්නවා. ඒ වගේම මේ මල්ලක් රුපියල් පනහක් වැනි මුදලකට ලබා ගන්න පහසුකම් තිබෙනවා. පුංචි ඉඩක වගාවක් කරගෙන යන්න කැමති කෙනෙකුට මේ ”Green bag” යොදා ගෙන බැල්කනියක වුණත් වගා කටයුතු කරන්න පුළුවන්.
– පුන්‍යා චාන්දනී ද සිල්වා