අකුරේගොඩ ඝාතනයට විරෝධය පාමින් වසර 14කට පසු නීතිඥ සංගමයේ සියලුම සාමජිකයන් කොළඹට…

අකුරේගොඩ දී නීතිඥවරයෙක් හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගය සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (15) පස්වරුවේ සිය සංගමයේ සියලුම සාමාජිකයන් කොළඹට කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසුරිය මහතා ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර පැවසුවේ සිය සංගමය මඟින් මෙම ඝාතනය දැඩි ලෙස හෙළා දැකීමට කටයුතු කරන බවයි.

රජය ජනතාවගේ ආරක්ෂාව දැඩි කිරීමට දැඩි පියවර ගත යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මෙය සමස්ත නීතිඥ ප්‍රජාවට අතිශයින් බලපාන තත්ත්වයක් බවත් ඒ නිසා අද සවස තුනට මුළු සාමාජිකත්වයම නියෝජනය වන රැස්වීමක් කැඳවීමට බලාපොරොත්තු වන බව නීතිඥ සංගමයේ සභාපතිවරයා පවසා සිටියා.

නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ද එම රැස්වීමේදී තීරණය කරන බවයි ඔහු සඳහන් කළේ.

එහිදී මෙම වෙඩි තැබීමට සමබන්ධ බවට සැකකරන පාර්ශව වෙනුවෙන් පෙනී නොසිටීමට සියලු නීතිඥවරු ඒකමතිකව තීරණයක් ගනු ඇත්දැයි මාඪ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි.

මෙලෙස නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන් කැඳවමින් රැස්වීමක් පවත්වනු ලබන්නේ 2012 වසරේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල වූ මොහොතේ එක් වීමෙන් පසුවය.

නීතිඥවරයෙකු විසින් කවර සේවාදායකයකු වෙනුවෙන් පෙනී සිටියද මෙවැනි තර්ජනයක් එල්ල විම පද්ධතියටම එල්ල වන බලපෑමක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. නීතියේ ආධිපත්‍ය තර්ජනයට ලක් වී ඇති බැවින් කිසිසේත් මෙය සුළු කොට තැකිය නොහැකි බව ඔහු පවසනවා.

මේ අතර අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ මහ මඟ ඝාතනය කිරීම විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇති බව පොලිසිය පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!