ඉන්දු පාකිස්තාන සටනින් පහසු ජයක් ලබාගත් ඉන්දියාව සුපිරි 08 වටයට..

ටොස් එක අවස්ථාවේ නායකයින් අතට අත හුවමාරුවක් හෝ ජයග්‍රහණයෙන් පසු සුබ පතාගැනීම් නැහැ..

ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් උනන්දුවෙන් සිටි ඉන්දියාව හා පාකිස්තානය අතර කොළඹදී පැවැති T20 ලෝක කුසලාන තරගයෙන් ලකුණු 61ක ජයක් ලබා ගනිමින් ඉන්දියාව සුපිරි 8දෙනාගේ වටයට ඇතුළත් වීමට සමත් වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති, කණ්ඩායම් දෙකටම ජයග්‍රහණය පිළිබඳ ඉහළ පීඩනයක් පැවතුණු මෙම තරගය, ජය ගැනීම සඳහා ඉන්දියාව පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 176ක අභියෝගයක් පාකිස්ථානය වෙත ලබා දුන්නා.

ඒ සඳහා ඉන්දියානු පිළට විශාලම ශක්තිය වුණේ ආරම්භක පිතිකරු ඉෂාන් කිෂාන්ගේ 77ක ඉනිමයි. පිතිකරුවන්ට අභියෝගාත්මක කොළඹ තණතිල්ල මත අවසානයේ ඉන්දියාව ඕවර 20 අවසානයේ 175/7ක් ලෙස ඉනිම අවසන් කරනු ලැබුවා.

පිළිතුරු ඉනිම ආරම්භයේදීම හර්දික් පාණ්ඩ්‍යා පළමු ඕවරයේ කඩුල්ලක් ලබාගත් අතර ජස්පිට් බුම්රා දෙවන ඕවරයේ කඩුලු දෙකක් ලබා ගනිමින් තරගයේ ප්‍රතිඵලය ඉක්මනින්ම ඉන්දියාව දෙසට හැරවීමට කටයුතු කළා. පාකිස්තානය වෙනුවෙන් උස්මාන් ඛාන් ලකුණු 44ක් ලබා ගත්තද, ඕවර 18ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 114කට සීමා වීමට පාකිස්ථානයට සිදු වුණා.

2024 වසරේදී ලෝක ශූරතාවය දිනාගත් ඉන්දීය කණ්ඩායම ඒ අනුව දැන් Super 8 වටයට පිවිස තිබෙනවා. පාකිස්තානය Super 8 වටයට යාම සඳහා බ්‍රහස්පතින්දා නැම්බියා කණ්ඩායමට එරෙහි තරගය ජයගත යුතුය. එසේ සිදු වුවහොත්, මෙම තරගාවලියේ අර්ධ අවසන් හෝ අවසන් තරගයේදී නැවතත් ඉන්දියාව හා පාකිස්තානය හමුවීමේ හැකියාවක් පවතී.

තරගය පැවැත්වේද යන්න පිළිබඳ සති ගණනාවක් පුරා ඇති වූ සැකයන් සහ සාකච්ඡා වට ගණනාවකට පසුව අවසානයේ තරගය පැවැති අතර සිය ප්‍රබල ක්‍රීඩා රිද්මය දිගටම පවත්වාගෙන යමින් ඉන්දියාව මෙවර වාර්තා කළේ පාකිස්තානයට එරෙහිව අඛණ්ඩ නවවැනි ජයග්‍රහණයයි.

රට දෙක අතර පවතින දේශපාලන ආතතිය සහ පසුගිය වසරේ හමුදා ගැටුම් පසුබිමක් පැවතුණ ද තරගයේ දී ගැටලු කිසිවක් වාර්තා නොවූ නමුත් ටොස් එක ලබාගත් අවස්ථාවේ නායකයින් දෙදෙනා අතිනත් හුවමාරු කර නොගත් අතර තරගය අවසානයේ දී ද එකිනෙකාට සුබ පැතුම් පළ කරගත් බවක් දැකගන්නට ලැබුණේ ද නැහැ.

Latest News

error: Content is protected !!