කසාවතින් හා ථේරවාදයෙන් බිලියන ගණනක් හදවත් ස්පර්ශ කළ නූතන ‘ඉන්ෆුල්වෙන්සර්’

බලපෑම් කිරීම, අවධානයට ලක් වීම, ජනප්‍රියතාව පසු පසයාම සෝෂල් මීඩියා යුගයේ සුලභව දැකිය හැකි තත්ත්වයකි. එහෙත් පඤ්ඤාකාර ස්වාමීන්වහන්සේ ගමන් ගත්තේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාව වෙතයි.

සටන් පාඨ, වෙළඳ සන්නාම හෝ දේශපාලනය හඹා නොගිය උන්වහන්සේ ඒ වෙනුවට විශ්වාසය තැබුයේ සැතපුම් 2300ක් පුරා තබන පියවර කෙරෙහිම පමණකි.

ලෝකයේ විශාලතම අබෞද්ධ වැසියන් ජීවත් වන රටක මිනිසුන් උන්වහන්සේගේ පියවරක්, පියවරක් පාසා එකතු වූයේ විශ්මය ජනක ආකාරයෙනි.

ථෙරවාදී බුද්ධාගම හා කහ සිවුර වෙත ලෝකය පුරා අවධානය යොමු වුණේ සාම පාගමන පුරාවට උන්වහන්සේ ප්‍රකට කළ සංයමය නිසාය. එහි කිසිදු තැනක බලහත්කාරය, බලෙන් එකඟ වීමක් නොවීය. ඒ වෙනුවට ගමන පුරාම පැවැතුණේ දැක පැහැදී පැමිණීමට කරන නිහඬ ආරාධනාවකි.

සමාජ මාධ්‍ය යුගයක නිහඬ බලපෑමක් කරන ථෙරවාදී බුදුදහමේ වර්තමාන නියමුවාණන් ලෙස ද සැලකෙන පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ යනු කවුද?

කසාවත දැරීමට පෙර උන්වහන්සේගේ ජීවිත කතාව මෙයයි. වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකි. ආර්ලින්ග්ටන් University of Texas හි උපාධිධාරියෙක්. අන් සෑම අයෙකුට මෙන්ම එක්සත් ජනපදයේ ගත කළ හැකි සුපිරි ජීවිතයක්, උසස් රැකියාවක්, රැකියාවේ උසස්වීම් සහිත සාමාන්‍ය පෘථග්ජන ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සෑම පහසුකමක්ම ඔහු සතු වුණා.

එහෙත් ලෞකික ලෝකය හා බැඳුණු ඒ සියල්ල අතහැර දැමූ ඔහු අධ්‍යාත්මික ජීවිතයක් කෙරෙහි ආශාවට ඉඩ දෙමින් විපස්සනා ආදී භාවනා ක්‍රමයන් පිළිබඳ සෙවීම ආරම්භ කළ බවයි සඳහන් වන්නේ.

එය ලෝකයෙන් පලා යාමක් නොව, ලෝකය හමුවීමට සූදානම් වීමක් වීමක්ය. 2025 ඔක්තෝබර් 26 වනදා Fort Worth නගරයෙන් “Walk for Peace” ආරම්භ වුණේ එම හමුවීම සඳහායි. එය ආරම්භ වන විට එය ඉතිහාසගත වන ගමනක් බව කිසිවකු විශ්වාස කළේ නැහැ.

භික්ෂූන් විසිදෙනෙකුට ආසන්න පිරිසක් අමෙරිකාවේ මාවත්වලට පිවිසුණේ සටන් පුවරු හෝ අරමුදල් රැස්කරන වැඩසටහන් කිසිවකින් තොරවය. ඇතැම් ස්වාමීන් වහන්සේලාට පාද ස්පර්ශකරන මිරිවැඩි සඟලක් හෝ නොවුණු ඉතාම අල්පේච්ඡ සාම පා ගමන එතැන් සිට දින 108ක් පුරා සැතපුම් 2,300ක්, ප්‍රාන්ත 10ක් හරහා එකම අරමුණක් වෙනුවෙන් ගමන් ගත් ආකාරයයි දක්නට ලැබුණේ.

ටෙක්සාස් පොළොවේ උණුසුමත් ඉතිහාසයේ දරුණුතම සීත සෘතුවකටත් මුහුණ දුන්නද එම අල්පේච්ඡ ගමන නැවැත්වීමට කිසිවකට හැකියාවක් ලැබුණේ නැහැ.

ගමන අතරතුර සියලු භික්ෂූන් වහන්සේලා මධ්‍යහනයට පෙර එක ආහාර වේලක් පමණක් ලබා ගත් බවයි වාර්තා වුණේ. නිශ්ශබ්දතාව ඔවුන්ගේ භාෂාව වූ අතර ගමන පුරා සංයමය ඔවුන්ගේ පණිවිඩය වුණා.

එහෙත් මාර්ගය ඔවුන්ගේ කැපවීම පරීක්ෂා කළා. 2025 නොවැම්බර් 19 දා Dayton, Texas අසල සිදුවූ රිය අනතුරකින් භික්ෂූන් කිහිපදෙනෙකුට බරපතල තුවාල සිදු වුණා. එම අනතුරෙන් පූජ්‍ය මහා දම් පොම්මාසන් ස්වාමීන් වහන්සේට පාදයේ පහළ කොටස අහිමි වී තිබුණා.

එහෙත් නැවත ගමන ආරම්භ කළා. වේදනාව සුළු නිසා නොව, ප්‍රතිඥාව විශාල වූ නිසා. ඔවුන් සමඟ නිහතමානීව ගමන් කළ ආලෝකා මෙම ගමනට ලබා දුන් ආලෝකය ද සුළුපටු වුණේ නැහැ. ආලෝකා පවා දිගු වෙහෙසකර ගමනකින් ඉනික්බිති සැත්කමකින් පසුව පවා නැවත ගමනට එක් වී තිබුණා.

2026 පෙබරවාරි 10 වනදා Washington, D.C. වෙත පැමිණෙන විට මුළු ලෝකයම ඔවුන් වෙත හැරී අවසානයි. රාජ්‍ය නායකයන් ප්‍රකාශ නිකුත් කළා. ජනතාව රැස්වුණා. මාර්ග අසල අත් බැඳගෙන සිටින මිනිසුන්ගෙන් පිරී ගියා. ලක්ෂ ගණනක් ජනතාව ඔන්ලයින් ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් වුණා. කිසිදු බල කිරීමක් හෝ ආඥා කිසිවක් නොමැතිව මිනිසුන් ඔවුන් වෙත බැඳී තිබුණා. ස්ථිරත්වයට, මෘදුබවට, හා ද්වේෂය ප්‍රතික්ෂේප කළ පැවතීමකට මිනිසුන් ප්‍රතිචාර දැක්වූයේ ඒ ආකාරයෙනි.

පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ හදවත් ජයගත්තේ බලයෙන් නොවේ. අවධානය සඳහා තරඟ කරමින් නොවේ. වාදයෙන් නොවේ. දිගු කලක්, සන්සුන්ව, සත්‍යවාදීව ගමන් කිරීමෙනි. මිනිසුන්ට මිනිසුන් තුළින්ම ඔවුන්ගේ ආත්මයේ හඬ ඇසෙන්නට සලස්වමිනි.

උන්වහන්සේගේ සාමය වේදිකාවක ප්‍රකාශ කළ දෙයක් නොවීය. එය උන්වහන්සේගේ පාදවල යටි පතුල්වලට පවා කා වැදී තිබූ දෙයකි.

Latest News

error: Content is protected !!