ශීත ඍතු ඔලිම්පික් ගම්මානයේ කොන්ඩම් හිඟයක්.. ක්‍රීඩකයින් දින තුනක් ඇතුළත සියලුම කොන්ඩම් ඉවර කරලා..

2026 Milano‑Cortina ශීත ඔලිම්පික් උළෙලේ නිල ගම්මානයේ ක්‍රීඩකයින්ට නොමිලේ ලබාදුන් උපත් පාලන කොපු (කොන්ඩම්) දින තුනක් ඇතුළත අවසන් වීමෙන් කොන්ඩම් හිඟයක් මතුව ඇතැයි වාර්තා වෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංවිධායකයින් විසින් නොමිලේ ලබා දුන් කොන්ඩම් 10,000ම භාවිතා කර අවසන් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙය සාමාන්‍යයෙන් ඔලිම්පික් උළෙලවල ක්‍රීඩකයින්ට ලබා දෙන කොන්ඩම් ප්‍රමාණයට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් බව පැවසෙනවා.

ඔලිම්පික් සංවිධායකයින් පවසන්නේ විශාල ඉල්ලුම හමුවේ, විශේෂයෙන් වැලන්ටයින් දිනයට පෙර ඉල්ලුම වැඩි වීම නිසා කොන්ඩම් සැපයුම් ඉක්මණින් අවසන් වූ බවයි.

ඔලිම්පික් උළෙලේ කොන්ඩම් නොමිලේ ලබා දීමේ පුරුද්ද 1988 සිට ආරම්භ වී තිබෙනවා. එහි ප්‍රධාන අරමුණ වූයේ ක්‍රීඩකයින් අතර සුරක්ෂිත ලිංගික ජීවිතය සහ ලිංගික රෝග වැළැක්වීම පිළිබඳ අවබෝධය ගොඩ නඟා ගැනීමයි.

පසුගිය 2024 පැරිස් (ග්‍රීෂ්ම) ඔලිම්පික් උළෙලේ ක්‍රීඩකයින්ට කොන්ඩම් 300,000 ක් සපයනු ලැබූ බව සඳහන්ය.

2026 ශීත ඍතු ඔලිම්පික් උළෙලට ඉසව් 116ක් සඳහා රටවල් 92කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,800කට අධික සංඛ්‍යාවක් සහභාගී වී තිබෙනවා.

සියලුම තරඟකරුවන්ගෙන් 47%ක් කාන්තාවන් වන අතර එය ශීත ඍතු ක්‍රීඩා ඉතිහාසයේ ඉහළම ප්‍රතිශතය ලෙසයි සැලකෙන්නේ.

Latest News

error: Content is protected !!