2026.02.05 වන දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පුද්ගලික ප්‍රශ්න කිරීමකට අදාළ තොරතුරු මාධ්‍යයට නිරාවරණය කිරීම හා ඇතැම් මාධ්‍ය මඟින් තමා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමඟ සම්බන්ධතා පවත්වන බවට අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසා තිබෙනවා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇයගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් 2026 පෙබරවාරි මස 3 දින ඇයට දුරකථන ඇමතුමක් ලබා දෙමින් එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස සඳහන් කළ බවත් පසුව කළ විමසීමකදී එම කැඳවීම සිදු කර ඇත්තේ සංවිධනාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ සිදුවූ බව කියන දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සඳහා බව දැනගන්නට ලැබුණ බවත්ය.
ඒ අනුව 2026.02.05 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් විනාඩි 15ක් වැනි කාල සීමාවක් ප්‍රකාශ ලබා දුන් බවත් දේශපාලඥයින් වැනි සමාජයට වගකිවයුතු පුද්ගලයින් වෙත මේ ආකාරයේ පදනම් විරහිත චෝදනා ගොනු කරමින් අපහසුතාවයට පත් නොකරන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිය බවත් ඇය පවසනවා.
එහිදී එම දෙපාර්තමේන්තුවේ ඇයගෙන් ප්‍රශ්න කළ නිලධාරියා එම තොරතුරු මාධ්‍ය වෙත ලබා නොදෙන ලෙස තමාගෙන් ද ඉල්ලා සිටි බවයි ඇය පවසන්නේ.
කෙසේ වෙතත් පසුව එම පුවත මාධ්‍ය මඟින් විවිධ අර්ථකථන ලබා දෙමින් ප්‍රචාරය කරන ලද බව ඇය පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලික ප්‍රශ්න කිරීමකට අදාළ තොරතුරු මාධය වෙත නිකුත් කිරීම සහ එම තොරතුරු සමාජ ගත කළ මාධ්‍යවලට එරෙහිව ඉදිරියේදී පියවර ගන්නා බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
