ඔබාමා හා මිෂෙල් වානරයන් ලෙස පෙන්නුම් කළ වර්ගවාදී වීඩියෝවට ප්‍රහාරයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ Truth ගිණුමට යාවත්කාලීන කරනු ලැබූ වීඩියෝවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බැරක් ඔබාමා දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.

එම වීඩියෝව තුළ හිටපු ජනපති ඔබාමා හා ඔහුගේ බිරිඳ මිෂෙල් වානරයන් ලෙස පෙන්වන දර්ශන ඇතුළත් වූ බවට චෝදනා එල්ල වී ඇති අතර එය වර්ගවාදී අර්ථයක් ඇති අන්තර්ගතයක් ලෙසටයි චෝදනා එල්ල වන්නේ.

සමාජ මාධ්‍යවල ඒ සඳහා දැඩි විවේචනයක් ද එල්ල වුණා. එයට ප්‍රතිචාර දැක්වූ හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ එක්සත් ජනපද දේශපාලනය විකට සංදර්ශනයක් බවට පත් වී ඇති බවයි.

දේශපාලන සංවාදයේ ගෞරවය සහ වගකීම අඩුවී ඇති බවට ඔහු චෝදනා කර තිබෙනවා. මෙය පුද්ගලික ප්‍රහාරයක් පමණක් නොව, සමාජයේ දේශපාලන සංවාදයේ මට්ටම පහත වැටී ඇති බව පෙන්වන උදාහරණයක් ලෙස සැලකිය හැකි බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

එම වීඩියෝවේ අවසන් කොටස තමා නුදුටු බවත් එය කාර්ය මණ්ඩලයේ කිසිවකු විසින් යාවත්කාලීන කරන ලද බවට සැක කරන බව ද ඔහු පවසා තිබෙනවා.

මෙම සිද්ධිය ඇමරිකානු දේශපාලනය තුළ වර්ගවාදය, සමාජ මාධ්‍ය වගකීම සහ දේශපාලන නායකයන්ගේ භාවිතය පිළිබඳ නව විවාදයක් නැවතත් මතු කර ඇති බවයි වාර්තා වන්නේ.

වීඩියෝව සම්බන්ධයෙන් එල්ල වූ ප්‍රතිචාරවලින් පසුව ට්‍රම්ප් එය ඔහුගේ ගිණුමෙන් ඉවත් කළේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකෙන්ම විවේචන එල්ල වීම හේතුවෙනි. එහෙත් ඔහු සමාව ගැනීම නම් ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන් වන්නේ.

Latest News

error: Content is protected !!