චන්ද්‍රිකා විජය ගැන මතක අලුත් කරමින් තැබූ සංවේදී සටහන..
විජය කුමාරණතුංග නම් මානව හිතවාදියා ඝාතනය වී වසර 38ක් ගත වී අවසන්ය.
සිංහල සිනමාවේ ප්‍රබෝධය ලෙසත් එම වකවානුවේ පැවති දේශපාලනය තුළ රටේ නායකත්වය ලෙස මතුව ආ චරිතය වන්නේ ඔහුය.
70-80 දශකවලින් ඔබ්බට ඔහු ඝාතනය වී දශක හතරකට ආසන්න කාලයක් ගත වුවත් විජය පිළිබඳ මතකය කිසිවකුගෙන් ගිලිහී ගොස් නැහැ.
ඉතින් ඔහුගේ ප්‍රිය බිරිඳ වූ ඇය ඔහු ගැන මතකය කෙසේ අමතක කරන්නද?
විජය ඝාතනය වී වසර 38ක් සපිරෙන මොහොතේ ඔවුන් දෙපළගේ කුළුදුල් දියණියට විජය නම් තැබූ මොහොත ආවර්ජනය කරමින් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඔහුගේ ගුණ අනුස්මරණය කර තිබෙනවා..
ඒ නැක්සලයිට් කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බවට චෝදනා මත ඔහු සිරගත වී සිටි සමයේ සිර මැදිරියේ සිට දියණියට ලියූ ලිපියකින් කොටසක් උපුටා දක්වමිනි.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිය ප්‍රියයාණනගේ වියෝව සිහිපත් කරමින් මුහුණ පොතට එක් කර තිබූ එම ලිපියේ උපුටා ගැනීම මෙසේය.
“උඹ ඉපදුණු වෙලේ මම තීරණය කරලා තිබුණේ උඹට ‘යශෝධරා’ කියලා නම තියන්න. උඹට තියන්න නම් සිය ගණනක් හෙව්වත් මට තිබුණ එකම නම ‘යශෝධරා’ විතරයි. මේ මිහිපිට ඉපදිලා රජ සැප විඳලා පසුව කාත් කවුරුවත් නැතුව අනාථ වෙලා අසරණ වුණු කෙනෙක් යශෝධරා. ඒත් ඒ සියල්ල මේ ලෝකේ අසරණ ජනතාව වෙනුවෙන් ඉවසා වදාරගෙන හිටියා.”
“ඉවසීමේ, අවබෝධයේ, කරුණාවේ, ගුණ යහපත්කමේ කෙළවර තමයි ‘යශෝධරා’. ආදරයේ, දයාවේ, අසරණ බවේ කෙළවරයි ‘යශෝධරා’. ඒ ගුණ ධර්මවලින් බිඳක්වත් තිබුණොත් උඹ හොඳ මනුස්සයෙක් වෙයි. මට ඒ ඇති. මේ ලෝකේ ඉපදුණු කෙනෙකුට ආරක්ෂා කරගන්න ඕන එකම දේ මනුස්සකමයි. ඒ මනුස්සකම රැක ගත්තොත් අපිට මුළු ජීවිතය පුරාම සතුටු වෙන්න පුළුවන් වේවි.”
– විජය සිරගතව සිටිය දී යශෝධරාට ලියූ ලිපියක්-
