අකුරෙගොඩ, තලංගම ප්‍රදේශයේ දී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ නිසංසලා වෙඩි තැබීමකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රට පුරා දැඩි විරෝධතා මතුව ඇති අතර මහජන ආරක්ෂාව යළිත් දේශපාලන විවාදයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විරෝධතා පාගමනක් සංවිධානය කරමින් සඳුදා (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතු වර්ජනය කිරීමට පියවර ගනු ලැබුවා. නීතිඥ වෘත්තියේ ආරක්ෂාව තහවුරු කිරීම හා සහ කඩිනමින් යුක්තිය ඉල්ලීම එම පියවරෙහි අරමුණ බවයි එම සංගමය සඳහන් කළේ.
මෙවර අධිකරණ වර්ජනය 2013 දී සිදුකළ ඉතිහාසගත වෘත්තීය වර්ජනයෙන් පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගෙන ඇති ප්‍රබලම සාමුහික ක්‍රියාමාර්ගයක් ලෙස සැලකෙනවා. එම අවස්ථාවේදී හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගයට විරෝධය පළකරමින් දීප ව්‍යාප්ත වර්ජනයක් සිදු කෙරුණා.
මේ අතර පොලීසිය පවසන්නේ 2026 පෙබරවාරි 13 දින සිදුවූ මෙම වෙඩි තැබීම සම්බන්ධ විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 12ක් යොදවා ඇති බවයි. වෙඩි තැබූ පුද්ගලයන්ට නවාතැන් ලබාදීම, ගිනිඅවි ප්‍රවාහනය සහ මත්ද්‍රව්‍ය සැපයීම ඇතුළු ආධාර ලබාදුන් බවට සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාතාල අපරාධ ක්‍රියාකාරකම් වැඩිවීම පිළිබඳ මහජන කණස්සල්ල මධ්‍යයේ හිටපු යුධ හමුදාධිපති සරත් ෆොන්සේකා පවසා ඇත්තේ තැන තැන සිදුවන හුදෙකලා වෙඩි තැබීම් ජාතික ආරක්ෂාවට සෘජු තර්ජනයක් ලෙස සැලකිය නොහැකි බවයි.
කෙසේවෙතත් මෙම සිද්ධිය හේතුවෙන් රජයේ ආරක්ෂක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික ආරක්ෂාව මුල් කරගනිමින් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහි ප්‍රකාශක සංජීව එදිරිමාන්න පවසන්නේ ත්‍රිවිධ හමුදා මූලස්ථානය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ආසන්නයේ සිදුවූ නවතම වෙඩි තැබීම ඇතුළුව විටින් විට සිදුවන වෙඩි තැබීම් ජාතික ආරක්ෂාවට අදාළ නොවන බවට රජය කරන ප්‍රකාශවලින් ජාතික ආරක්ෂාව පිළිබඳ ඔවුන්ට ඇති දැනුම ප්‍රාථමික බව පෙන්නුම් කරන බවයි. හිටපු අමාත්‍ය මහින්ද අමරවීර ද ආරක්ෂක තත්ත්වය නරක අතට හැරී ඇති බව පවසමින් රජයේ ජාතික අරක්ෂාව පිළිබඳ ප්‍රවේශය විවේචනය කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් රජය පාර්ශවය පෙන්වා දෙන්නේ පැරණි දූෂිත පද්ධතිවල අංශ රට තුළ තවමත් පවතින අතර ඒවා පද්ධතිමය ලෙස ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවකි. සංවිධානාත්මක අපරාධ, මූල්‍ය වංචා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් දූෂිත දේශපාලන පද්ධති තුළ පෝෂණය වූ බව ඔවුන් විසින් තර්ක කරමින් සිටිනවා.
