හරි පුදුමයි.. ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය තියෙන්නේ ඊට මීටර කිහිපයක් දුරින්..
අකුරේගොඩදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබෙනවා.
මෙම සිදුවීම හේතුකොට ගෙන ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ල වී ඇති බවට හුවා දැක්වීමට උත්සාහ ගන්නා බවත් ඉන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් සිදු වී නැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (17) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියා.
එම ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ පවුලේ ඥාතීන් වෙත ශෝකය පලකරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
මේ පිළිබඳ සිය අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් තමා පුදුමයට පත් වූ බවයි.
මෙම ඝාතනය වූ ස්ථානයේ සිට මීටර් 600ක් 700ක් පමණ යන විට ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය යන දෙකම පවතින බවත් එම කලාපය අධි ආරක්ෂිත කලාපයක් නොවන බව ප්‍රකාශ කිරීම පුදුම සහගත බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.
