ඉරානයට පහර දීමට ගිය USS Abraham Lincoln නෞකාව ස්ථානගත කර ඇති ස්ථානය හෙළි වේ

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා වාහක නෞකාව වන USS Abraham Lincoln නෞකාව ඔමාන් වෙරළ ආසන්නයේ, ඉරානයට කිලෝමීටර් 700ක් පමණ දුරින් ස්ථානගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එරට ආගමික පාලන තන්ත්‍රය නෙරපා දැමිය යුතු බවට බල කරමින් ඉරානය තුළ මෑතකදී මතුවූ රාජ්‍ය විරෝධී අරගලය හමුවේ ඉරාන රජය එය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබුවා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුදා මැදිහත්වීමක් කරන බව පැවසුවේ එම මර්දනය හමුවේය. USS Abraham Lincoln නෞකාව ඉරානය දෙසට ගමන් කිරීම ආරම්භ කළේ ද ඒ සමඟයි.

මෙය එම කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ සිදුවීමක් වූ අතර සැටලයිට් ඡායාරූපවලට අනුව එම නෞකාව මේ වන විට ඉරානයට ආසන්නව කිලෝමීටර් 700ක් දුරින් ස්ථානගත වී පවතී.

ඒ ඉරාන සහ ඇමෙරිකානු නියෝජිතයන් අතර ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත දෙවන වටයේ සාකච්ඡා සඳහා ද සූදානම් වන පසුබිමකදීය.

එම සාකච්ඡාවල දී ඉරානයේ න්‍යෂ්ටික පරමාණු වැඩසටහන සහ ඇමෙරිකානු ආර්ථික සම්බාධක ඉවත් කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

USS Abraham Lincoln නෞකාවේ මෙම ස්ථානගත කිරීම කලාපයේ ඇමෙරිකානු යුධ හමුදා ක්‍රියාකාරකම් පුළුල් කිරීමේ කොටසක් ලෙස සැලකේ. යුරෝපීය Sentinel-2 සැටලයිට් ඡායාරූප භාවිත කරමින් මෙම ගුවන් යානා වාහක නෞකාව පවතින ස්ථානය නිවැරදිව හඳුනාගෙන තිබෙනවා.

මෙම නෞකාව යුධ කණ්ඩායමක් මෙහෙයවන අතර මිසයිල විනාශකාරී නෞකා තුනක් සමඟ ක්‍රියාත්මක වන්නකි. එමෙන්ම F-35 යුධ ගුවන් යානා ඇතුළු ගුවන් යානා 90කට ආසන්න සංඛ්‍යාවක් සහ නාවිකයින් 5,680ක පිරිසක්ද එහි සේවයේ යෙදී සිටින බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් යානා වාහක නෞකාව ජනවාරි අවසන් භාගයේදී ගල්ෆ් කලාපයට යොමු කර ඇති බව වාර්තා වුවද විවෘත මුහුදු ප්‍රදේශවල සැටලයිට් ආවරණ සීමා තිබීම හේතුවෙන් එය මීට පෙර නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වූ බවද වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!